අනුමත විදුලි ගාස්තු සංශෝධනය – 2023 ජූලි
අනුමත විදුලි ගාස්තු සංශෝධනය – 2023 ජූලි

හෙට (2023 ජුලි 1 ) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කරයි

  • ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක්. ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කෙරේ.
  • ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරේ
  • ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරේ.
  • ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක්. අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින්. (රුපියල් 30 සිට 10 දක්වා අඩු කෙරේ). ආගමික ස්ථාන සදහා කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි
  • හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්
  • කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්
  • වාණිජ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 5කින් අඩු කෙරේ
  • රජයේ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 1 කින් අඩු කෙරේ

ඇමුණුම 2

2023 ජුලි 1 වැනිදා සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට අදාල කොන්දේසි

  1. සහාධිපත්‍ය දේපල (නිවාස සංකීර්ණ) වල පාරිභෝගිකයින් ට අදාල වන ගාස්තු කාණ්ඩයට යටත් කර ගාස්තු අයකිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) කඩිනමින් පියවර ගත යුතු වේ. මෙම නිවාස සංකීර්ණ වල පොදු ස්ථාන සදහා වැය වන විදුලිය සහ වෙනත් නඩත්තු වියදම් පියවාගැනීම සදහා ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තිය යටතේ සේවා ගාස්තු ක්‍රමයක් හදුන්වාදීමට ලංවිම/ලෙකො අදාල නිවාස සංකීර්ණ වල කලමණාකරන සංස්ථා සමග ගිවිසුම් ගත වීමට පුළුවන
  2. වීථී ලාම්පු සදහා පරිභෝජනය කෙරෙන විදුලිය මනුගත කර/ඇස්තමේන්තු කර බිල්පත් නිකුත් කර අදාල පලාත් පාලන ආයතන/මාර්ග සංවර්ධන අධිකාරියෙන් අදාල ගාස්තු අයකර ගැනීම සදහා පියවර ගත යුතු ය
  3. පාරිභෝගිකයින්ගෙන් ලබාගත් ඇප තැන්පතු ආයෝජනය කර ඉන් ලැබෙන ප්‍රතිලාභ වලින් පාරිභෝගිකයින්ට පොලිය ගෙවීමට පියවර ගත යුතු වේ
  4. පාරිභෝගික ඇප තැන්පතු සදහා ගෙවන පොලිය අදාල පාරිභෝගිකයාගේ මාසික බිල්පතෙන් අඩු කර ගැනීම සදහා පියවර ගත යුතු වේ
  5. ඉන්ධන හා ගල් අගුරු සැපයීම් වලට අදාලව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා කෝල් සමාගම සමග ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ලංවිම පියවර ගත යුතු ය
  6. ලංවිම විදුලි බලාගාර සහ ලංවිම සම්ප්‍රේශණ අංශය අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු අතර ලංවිම සම්ප්‍රේශන අංශය හා බෙදාහැරීම් අංශ අතර විදුලිය අලෙවිය සදහා ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු ය.
  7. දැනට බලපත්‍ර රහිතව ක්‍රියාත්මක ලංවිම බලාගාර සදහා මාස 2ක් ඇතුළත බලපත්‍ර ලබාගත යුතු ය
  8. පුනර්ජනනීය විදුලි බලාගාර (වහල මත සවිකරන සුර්ය බලාගාර ද ඇතුළුව) වලින් විදුලිය මිලදී ගැනීමේදී කල යුතු ගෙවීම් කඩිනමින් ගෙවීමට පියවර ගත යුතු ය.
  9. මෙම තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත ලංවිම විසින් තොග සැපයුම් සම්ප්‍රේශණ ගිණුම ක්‍රියාවට නැගිය යුතු ය.
  10. නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් ක්‍රම යටතේ වහල මත සවිකල සුර්ය බල පද්ධති සහිත විදුලි පාරිභෝගිකයින්ගෙන් මාසික ස්ථාවර ගාස්තු අයකිරීමේ දී ඔවුන් විසින් ආනයනය කල ශුද්ධ විදුලි ප්‍රමාණය මත මාසික ගාස්තුව අය කල යුතු ය. ඔවුන් විසින් ශුද්ධ අපනයනයක් කර ඇත්නම් මාසික ගාස්තුව තීරණය කල යුත්තේ මාසික විදුලි පරිභෝජනය 0 ලෙස පදනම් කරගෙන ය
  11. ආගමික ස්ථාන සදහා වහල මත සවිකරන සුර්ය බල පද්ධති සවිකිරීමේ ක්‍රියාදාමය ලංවිම සහ ලෙකො විසින් කඩිනම් කල යුතු අතර එහි ප්‍රගතිය පිළිබද වාර්තාවක් මෙම තීන්දුවේ දිනයේ සිට මාස දෙකක් ඇතුළත කොමිෂන් සභාවට ඉදිරිපත් කල යුතු ය.
    සටහන-ඉහත කොන්දේසී වලින් 1, 2, 4, 5, 6, 8 සහ 9 යන කොන්දේසී පසුගිය ගාස්තු සංශෝධනයේදී ද පනවා ඇති බව අවධාරණය කෙරේ.