ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි
සිකුරාදා, 29 සැප්තැම්බර් 2023 |

2023 සැප්තැම්බර් 29

ප්‍රවෘත්ති නිවේදනය

ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි

මේ වසරේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය සදහා ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අනාවරණ කලේය. ඔහු වැඩිදුරත් පැවසුවේ ලබන වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ගාස්තු සංශෝධනය වෙනුවට ලංවිම විසින් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව මෙම අති විශේෂ ගාස්තු සංශෝධනය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි. මේ පිළිබද කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති තුමා:

“විදුලි ගාස්තු පිළිබද රජයේ ප්‍රතිපත්ති උපදේශයට අනුව වසරේ ජනවාරි මාසයේදී හා ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය සදහා ලංවිමට යෝජනා ඉදිරිපත් කල හැකියි. ඒ අනුව මීළග ගාස්තු සංශෝධනය නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැගීමටයි. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්වය, විදුලි උත්පාදනය හා විදුලි ඉල්ලුමේ තත්වයන් පුරෝකතනය කල තත්වයන්ට වඩා වෙනස් බව ලංවිම විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ජනවාරි මාසයට නියමිත ගාස්තු සංශෝධනය ඉදිරියට ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන ජනවාරි මාසයේදී නැවත වරක් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවද කිව යුතුයි. මේ වසරේදී රුපියල් බිලියන 31ක පමණ අලාභයක් සිදුවනු ඇතැයි ලංවිම ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වගේම මේ වසරේදි අපේක්ෂා කල ජල විදුලි උත්පාදනය වන ගිගා වොට් පැය 4,500 ක් වෙනුවට ගිගා වොට් පැය 3,750 ප්‍රමාණයකට සීමා වනු  ඇති බව ලංවිම යෝජනාවේ සදහන්. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ අනපේක්ෂිත අක්‍රියවීම් හේතුවෙන් එම බලාගාරයේ විදුලි උත්පාදනයද අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වන බවද ලංවිම ගාස්තු සංශෝධන යෝජනාවෙන් පෙන්වා දෙනවා. ජල විදුලිය අඩුවීම හේතුවෙන් හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවීමද ගාස්තු සංශෝධනයට බලපෑ සාධකයක්. ඊට අමතරව මේ වසරේ දෛනික ඉල්ලුම ගිගාවොට්  පැය 44.4ක් දක්වා ඉහල යනු ඇතැයි ලංවිම අපේක්ෂා කරනවා. මේ හේතු මත පදනම් ලංවිම මෙම අති විශේෂ ගාස්තු සංශෝධනය යෝජනා කර තිබෙනවා”

ගාස්තු ඉහල දැමීම සදහා ලංවිම ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබද වැඩිදුර කරුණු හෙලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමා.

“ඉංධන අයභාරයක් වශයෙන් සියළුම පාරිභෝගිකයින්ට සියයට 22කින් ගාස්තු වැඩිකිරීම ලංවිම ඉදිරිපත් කරන එක් යෝජනාවක්. අනෙක් යෝජනා වනුයේ විදුලි ඒකකයක් රුපියල් 8කින් වැඩිකිරීම. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වනුයේ මේ යෝජනා සහ ඊට පාදක වු පිරිවැය දත්ත අධ්‍යනය හා සමාලෝචන කර එම දත්ත කෙතරම් දුරට ගාස්තු ක්‍රමවේදයට අනුකූලදැයි තහවුරුකර ගැනීම. අවසාන තීරණය ගනු ලබන්නේ පුළුල් සමාලෝචනයකින් හා මහජන අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.”

ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ හා ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව බව ද මෙහිදි අවධාරණය කෙරිණි.

“ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී මහජන අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දිය යුතුයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය මගින් ද මහජන උපදේශනයේ අවශ්‍යතාව දක්වා තිබෙනවා. ඒ අනුව යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට කොමිෂන් සභාව තීරණය කලා. මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට තමන්ගේ අදහස් යෝජනා කොමිෂන් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කල හැකියි. ඊට අමතරව ඔක්තෝබර් මස 18 වැනිදා වාචිකව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද මහජනතාවට ඉඩ ප්‍රස්ථා ලබා දී තිබෙනවා.

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

 

වැඩි විස්තර
අනුශිකා කඹුරුගමුව​,
සහකාර අධ්‍යක්‍ෂිකා ආයතන සන්නිවේදන​,
0718622800