ප්‍රවෘත්ති නිවේදනය – විදුලි ගාස්තු සංශෝධනය 2024
සඳුදා, 4 මාර්තු 2024 |

 

  • අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු සියයට 9 කින් අඩු කෙරේ
  • ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කෙරේ
  • ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් පහලට
  • ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් පහලට
  • ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් පහලට
  • ඒකක 180ට වැඩි ගෘහස්ත කාණ්ඩය සදහා සියයට 18කින් ගාස්තු අඩු කෙරේ
  • ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක්
  • හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත සියයට 18කින් අඩුකෙරේ.
  • පොදු කාර්ය කාණ්ඩයට සියයට 23ක අඩුවීමක්
  • රාජ්‍ය අංශය සදහා සියයට 22කින් විදුලි ගාස්තු අඩු කෙරේ.
  • වීථි ලාම්පු සදහා සියයට 20ක අඩුකිරීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. සමස්ත ගාස්තු අඩුවීම සියයට 21.9කි. මෙම ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල යෝජනා හා වියදම් දත්ත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතිපාදනවලට අනුකූලව අධ්‍යනය හා සමාලෝචනය කර අවසන් තීරණයට එළඹෙන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සියයට 3.34කින් හා පසුව පෙබරවාරි මස 22 වැනි දින ඉදිරිපත් කල ප්‍රතිශෝධිත යෝජනාවකින් සියයට 14කින් ගාස්තු අඩුකිරීමට යෝජනා කර තිබිණ. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබු වියදම් දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කල සමාලෝචන හා මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනාද සැළකිල්ලට ගෙන සියයට 21.9කින් සමස්ත ගාස්තු අඩුකිරීමට කොමිෂන් සභාව තීරණය කරන ලදී.

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම ගාස්තු සංශෝධනයට අනුව සියළුම පාරිභෝගික කාණ්ඩවලට උපරිම වශයෙන් සහන සලසා ඇත. ගෘහස්ත අංශයේ ඒකක 30ට වඩා අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩුකර ඇත. ඒකක 61ත් 90ත් අතර මාසික පරිභෝජනයක් ඇති විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත් සියයට 30කින් අඩු වේ. ඒකක 90 වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා සියයට 24කින් ද ඒකක 180ට වඩා වැඩි කාණ්ඩය සදහා සියයට 18කින්ද විදුලි ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත. ආගමික ස්ථාන සදහා සියයට 33කින් ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

 

පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩයට සියයට 23කින් ගාස්තු අඩු කෙරේ. රාජ්‍ය ආයතන කාණ්ඩය සදහා ගාස්තු අඩුකෙරෙන්නේ සියයට 22 කිනි. හෝටල් සහ කර්මාන්ත යන අංශ සදහා සියයට 18 කින් ගාස්තු අඩුකර ඇත. වීථි ලාම්පු සදහා සියයට 20කින් ගාස්තු අඩු කෙරේ.

 

නව ගාස්තු ක්‍රමයට අනුව ඒකක 30ට අඩු පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කෙරේ. ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා අඩුකර ඇත. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගික කාණ්ඩය ගෙවු රුපියල් 360ක මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සදහා ඒකක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩුකෙරේ. ගෘහස්ත කාණ්ඩ සදහා මාසික ගාස්තුව හා ඒකක ගාස්තුව අඩුකර ඇති ආකාරය පහත දක්වා ඇත.

 

ගෘහස්ත අංශයේ පාරිභෝගික කාණ්ඩය වත්මන් ඒකක මිල අනුමත නව ඒකක මිල වත්මන් මාසික ගාස්තුව අනුමත නව මාසික ගාස්තුව
ඒකක 30ට අඩු 12 8 180 150
ඒකක 30-60 අතර 30 20 360 300
ඒකක 60 ට වැඩි කාණ්ඩ        
පළමු ඒකක 60 38 25    
ඒකක 60ට වැඩි 90ට අඩු 41 30 480 400
ඒකක 90ට වැඩි ඒකක 120ට අඩු 59 50 1,180 1,000
ඒකක 120ට වැඩි ඒකක 180ට අඩු 59 50 1,770 1,500
ඒකක 180 වැඩි 89 75 2,360 2,000

 

වහල මත සවිකල සුර්ය බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි බලාගාර හිමියන්ට කල යුුතු ගෙවීම් සහ හිග පොලී මෙම මස 31ට පෙර ගෙවන ලෙස ද කොන්දේසී පනවා තිබේ. 2030 වන විට ඉලක්ක ගත පුනර්ජනනීය විදුලි ජනනය ලගාකර ගැනීම සදහා සැලසුම් සකස් කර ජුනි මස 30ට පෙර ඉදිරිපත් කරන ලෙසද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංවිමට කොන්දේසි පනවා ඇත.

ඉහත කොන්දේසී ඇතුලු කොන්දේසි  13ක් මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීමට සමගාමීව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ක්‍රියාවට නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා  0772943193 අමතන්න

 

 

 

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ප්‍රවෘත්ති නිවේදනය

Letter to CEB (04-03-2024)

Letter to LECO (04-03-2024)