තනතුරු ඇබෑර්තු- අභ්‍යන්තර විගණක
තනතුරු ඇබෑර්තු- අභ්‍යන්තර විගණක

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී.  2009 අංක 02 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත ක්‍රියාවට නැගීමත් සමග විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ සහ තාක්ෂණික නියාමන ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය නියාමන කර්තව්‍යන් ආරම්භ කරන ලදී.

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පහත සදහන් තනතුරට කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීම සදහා සුදුසුකම් ලත් වෘත්තිකයින්ගෙන් අයදුම්පත් කැදවයි.

 

අභ්‍යන්තර විගණක (තනතුරු 01)

අභ්‍යන්තර සම්බන්ධතාවය

  • කොමිෂන් සභාවේ ලේකම් වෙත වාර්තා කරයි

 

තනතුරේ අරමුණු

  • මෙහෙයුම් කාර්යසාධනය වැඩිදියුණු කිරීම සදහා මුල්‍ය ක්‍රියාකාරකම්වලට අදාල සැකසුම් සහ පටිපාටි විශ්ලේෂණය කිරීම
  • වත්කම් ආරක්ෂාකීරීම, නීති රෙගුලාසි සහ කොන්ත්‍රාත් වලට අනුකූලතාවය සදහා මුල්‍ය හා මෙහෙයුම් (තොරතුරු තාක්ෂණික පද්ධති ඇතුළුව) තොරතුරු වල විශ්වසනීයත්වය හා පරිපුර්ණ බව තහවුරු කිරීම
  • අභ්‍යන්තර පාලනය, අවදානම් කළමණාකරනය හා පාලන ක්‍රියාදාමය ඵලදායි ඉලක්කගත ලෙස සිදුවන බවට තහවුරු කිරීම සහ යහපාලනය ක්‍රියාදාමය පහසුකිරීම සදහා විගණනය කිරීම

 

සුදුසුකම් සහ පලපුරුද්ද

  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා විශ්ව විද්‍යාලයකින් පිරිනමන ලද මුල්‍ය, කළමනාකරණ හෝ සමාන විෂයක් පිළිබද උපාධියක් සහ විගණනය පිළිබද අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද

හෝ

  • ICASL/CIMA/CFA හෝ ඊට සමාන පුර්ණ වෘත්තීමය සුදුසුකම් සහිතව විගණනය පිළිබද අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද

හෝ

  • විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හෝ රාජ්‍ය ආයතනයක විගණනය පිළිබද අවම වශයෙන් වසර 10ක පලපුරුද්ද සහිත නිළධාරියෙකු වීම

වෙනත් සුදුසුකම්

  • පරිගණක සාක්ෂරතාවය
  • වාර්තා ලිවීමේ හැකියාව

සාමාන්‍ය

 

  • වයස- අවුරුදු 45 ට වඩා අඩු විය යුතු ය
  • රාජ්‍ය ආයතවල අයදුම්කරුවන්ට උපරිම වයස් සීමාව බලනොපාන අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිළධාරීන්ද සළකාබලනු ලැබේ.
  • මෙම තනතුර ආරම්භයේදී වසරක කොන්ත්‍රාත් පදනම වන අතර කාර්යසාධනය මත දීර්ඝකීරීමට හෝ ස්ථිර සේවයට බදවාගනු ලැබිය හැකිය.

 

ඉහත තනතුර සදහා ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ හිමි වේ. සුදුසුකම් සහ පලපුරුද්ද අනුව කෙටි ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන හැකියාවන් මත පදනම් ව තෝරාගැනීම සිදු වේ.

 

අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක  ඇතුලත් අයදුම්පත් 2019 ජුනි 19 දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.

දුරකතනය: 011-2392607/8     ෆැක්ස්: 011-2392641

ඊමේල්: careers@pucsl.gov.lk            වෙබ්අඩවිය: www.pucsl.gov.lk