පාර්ශවකරුවන්ගේ උපදේශනය විදුලිබල බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ගේ පාරිභෝගික දුක්ගැනවිලි විසඳීමේ සංසදය (GRF) පිළිබඳ කෙටුම්පත් රීති සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරවුල් විසඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ කෙටුම්පත් රෙගුලාසි
පාර්ශවකරුවන්ගේ උපදේශනය විදුලිබල බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ගේ පාරිභෝගික දුක්ගැනවිලි විසඳීමේ සංසදය (GRF) පිළිබඳ කෙටුම්පත් රීති සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරවුල් විසඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳ කෙටුම්පත් රෙගුලාසි

(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද නිවේදනය)

 විදුලිබල බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ගේ විදුලි පාරිභෝගික දුක්ගැනවිලි විසඳීමේ සංසදය (GRF) පිළිබඳ කෙටුම්පත් රීති සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආරවුල් විසඳීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ කෙටුම්පත් රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ශවකරුවන්ගේ උපදේශනයක් පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කරයි.

පාරිභෝගික දුක්ගැනවිලි විසඳීමේ සංසදය (GRF) පිළිබඳ කෙටුම්පත් රීති සහ ආරවුල් විසඳීම පිළිබඳ කෙටුම්පත් රෙගුලාසි යනු විවිධ ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන ලේඛන දෙකකි; කෙසේ වෙතත්, මෙම ලේඛන දෙකෙහි සඳහන් සමස්ත ක්‍රියාවලියේ අරමුණු එකිනෙකට අනුපූරක වන අතර, ඒවායේ පරමාර්ථය වන්නේ දුක්ගැනවිලි සඳහා සහන සැලසීම සහ ආරවුල් විසඳීමයි. මෙම ලේඛන දෙකම එකට කියවීමේදී, දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමේ සිට ආරවුලක් විසඳීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම ඔබට අවබෝධ කර ගත හැකිය. මෙම උපදේශන ලේඛනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි පාර්ශවකරුවන්ගේ අදහස් අපේක්ෂා කෙරේ:

  • දුක්ගැනවිලි සහ ආරවුල් විසඳීමේ ක්‍රියාවලියේ අනුපිළිවෙල.
  • ගැටළුවල සංකීර්ණත්වය අනුව විකාශනය වන පරිදි යෝජිත විසඳුම් ක්‍රියාවලිය.
  • සාධාරණත්වය (Fairness), විනිවිදභාවය (Transparency), ස්ථාවරත්වය (Consistency), ස්වාධීනත්වය (Independence) සහ අපක්ෂපාතීත්වය (Objectivity) යන නියාමන ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ලේඛනවල අන්තර්ගත ක්‍රියාවලීන් ඇගයීම.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය යටතේ නියම කර ඇති පාර්ශවකරුවන්ගේ උපදේශනය පැවැත්වීමට කොමිෂන් සභාව අදහස් කරයි. අදාළ උපදේශන ලේඛනය මෙතැනින් බාගත හැකිය.

මෙම උපදේශන ලේඛනය සම්බන්ධයෙන් කිසියම් ලිඛිත අදහස් දැක්වීමක් පවතින්නේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය මහජනතාවට මෙයින් ආරාධනා කරනු ලැබේ. කොමිෂන් සභාව විසින් එම ඉදිරිපත් කිරීම් සලකා බලනු ලබන අතර, අවශ්‍ය වුවහොත් පාර්ශවකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියේ වාචික සැසියකදී ඒ පිළිබඳ වාචික ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙස අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිය හැකිය.

වාචික ඉදිරිපත් කිරීම් සඳහා වූ සැසිය, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පවත්වනු ලබන අතර, එහිදී උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. එබැවින්, ඔබගේ ලිඛිත ඉදිරිපත් කිරීම සමඟ එම සැසියට සහභාගී වීමට ඇති කැමැත්ත ද සඳහන් කළ හැකිය. වාචික සැසිය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

ලිඛිත අදහස් දැක්වීම් පහත ලිපිනයට හෝ පහත සඳහන් අනෙකුත් ක්‍රමවේද ඔස්සේ 30/06/2026 දිනට හෝ එදිනට පෙර ඉදිරිපත් කළ හැකිය.

පාරිභෝගික දුක්ගැනවිලි විසඳීමේ සංසදයේ (GRF) කෙටුම්පත් රීති සහ ආරවුල් විසඳීම පිළිබඳ කෙටුම්පත් රෙගුලාසි සම්බන්ධයෙන් වන පාර්ශවකරුවන්ගේ උපදේශනය”

සභාපති,

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

06 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

ෆැක්ස්: (011) 2392641

විද්‍යුත් තැපෑල: consultation@pucsl.gov.lk වෙබ් අඩවිය: www.pucsl.gov.lk

ෆේස්බුක් පිටුව: www.facebook.com/pucsl

වැඩිදුර තොරතුරු සහ/හෝ පැහැදිලි කිරීම් සඳහා කරුණාකර ශාන්ත ජයසිංහ මහතා 077 2304135 ඔස්සේ සම්බන්ධ කරගන්න.