ප්‍රසිද්ධ දැන්වීමයි
ප්‍රසිද්ධ දැන්වීමයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව විදුලිකාර්මික ශිල්පයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා පරිහරණයේදී  ප්‍රවේසම සහතික කිරීම සදහා විදුලි රැහැන් පද්ධති ස්ථාපනය, නඩත්තුව හා අළුත් වැඩියා කටයුතු සදහා පිළිගත් විදුලිකාර්මික ශිල්පීන්ගේ සේවය ලබාගත යුතු ය. ඒ අනුව විදුලිකාර්මික ශිල්පීන් සදහා නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම හා වෘත්තීය හැදුනුම්පතක් නිකුත් කිරීම දැන් ක්‍රියාත්මකය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මෙම වැඩපිළිවෙලට සමගාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනත යටතේ සුදුසුකම් ලත් විදුලිකාර්මිකයින් සදහා “ඉංජිනේරු කාර්මික” තනතුරු නාමය පිරිනැමීමේ වැඩපිළිවෙලක් ද හදුන්වා දී ඇත.

විදුලිකාර්මිකයින් ලෙස සේවය කිරීමේදී පහත සදහන් දින වකවානු තුලදී අදාළ අවම සුදුසුකම් සපුරා තිබිය යුතු බව මෙයින් දන්වා සිටිනු ලැබේ.

2026 ජනවාරි 1 සිට බලපැවැත්වෙන වෙනස්කම්:

2026 ජනවාරි 1 සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය තුල, විදුලි කාර්මිකයෙකු ලෙස එයට අදාල කටයුතුවල නියැළීමට ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම 3 වන මට්ටම (NVQ Level 3) අවම සුදුසුකම තිබීම අනිවාර්ය වේ.

2030 ජනවාරි 1 සිට බලපැවැත්වෙන වෙනස්කම්:

2030 ජනවාරි 1 දිනෙන් පසුව, විදුලි කාර්මිකයෙකු ලෙස එයට අදාල කටයුතුවල නියැළීමට ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම 4 වන මට්ටම (NVQ Level 4) සුදුසුකම සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

ඒ අනුව ඉහත සදහන් දින වකවානු තුල අවම සුදුසුකම් සපුරාලන්නේ නැති විදුලි කාර්මිකයන් ශ්‍රී ලංකා විදුලිබල පනත හා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් ස්ථාපිත කරන ලද නීතිමය රාමුව තුළ විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු වනු ඇත.

විදුලිකාර්මිකයින් සදහා නොමිලේ NVQ 3 පිරිනැමීමේ වැඩසටහන

දැනට වෘත්තියෙහි නිරත මාස 18කට නොඅඩු පලපුරුද්දක් ඇති විදුලිකාර්මිකයින් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (NVQ 3) නොමිලේ පිරිනැමීමේ වැඩසටහනක් 2021 වර්ෂයේ සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නගා ඇත. නොමිලේ NVQ 3 ලබා ගැනීමට ලියාපදිංචි වීම සදහා 076 4 27 10 30 දුරකතනයට නම සහ දිස්ත්‍රික්කය සදහන් කර වට්ස් ඇප් පණිවිඩයක් එවන්න. නැතහොත් එම අංකය අමතා ලියාපදිංචි විය හැකිය.

 

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව