බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණ ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් ගත වෙයි
අඟහරුවාදා, 16 ජූලි 2019 |

ප්‍රවෘත්ති නිවේදනය

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය පර්යේෂණ ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් ගත වෙයි

අඩු ආදායම් ලාභි පවුල් සදහා බලශක්තිය අඩුවෙන් වැය වෙන නිවාස ක්‍රමයක් හදුන්වාදීමේ පර්යේෂණය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළඹුණි. පසුගිය 15 වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී. මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ කේ සී කේ පෙරේරා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් එම ආයතනය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වශයෙන් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් නිවාස 350ක නියැදීයක් සමීක්ෂණයට ලක් කෙරේ. එම අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම්ලාභි නිවාස වල බලශක්ති පරිභෝජන රටාව හදුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිතයි. අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම් ලාභි පිරිස් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුමක් ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නිවාස වලට අවශ්‍ය බලශක්තියද නිවාසයේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධති හරහා ලබාදීමට නියමිතයි

මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.