ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලු වලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දෙයි
බදාදා, 14 සැප්තැම්බර් 2022 |

මාධ්‍ය නිවේදනය​

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලු වලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දෙයි

(14/09/2022) – විදුලිබල අංශයේ නියාමකයා වන​ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), මෑතදී සිදු වූ විදුලි ගාස්තු සංශෝධිතයන් සම් බන් ධව​ විදුලි පාරිභෝගිකයන්ට මතුවන ගැටලු විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දෙයි.

“නව විදුලි බිල ගණනය කිරීම සම්බන්ධයෙන් අපට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සැලකිල්ලට ගෙන අපි මෙම පියවර ගත්තා. අපට අවශ්‍ය වන්නේ නව විදුලි ගාස්තු සංශෝධනයන් සඳහා සුමට සංක්‍රාන්තියක් ඇති බවට වග බලා ගැනීමට, ගාස්තු ගණනය කිරීමේදී පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටළු අවම කර ගැනීමට අපට හැකි සෑම ආකාරයකින්ම පාරිභෝගිකයින්ට උපකාර කිරීමටය.” ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

නව විදුලි ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාට දැන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් 0775687387 යන විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයෙන් සම්බන්ධ කර ගත හැකිය.

මහජන උපදේශන ක්‍රියාවලියක් හරහා මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු 2022 අගෝස්තු 10 වන දින සිට ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට සහන සලසන නව විදුලි ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී.

නව විදුලි ගාස්තු වැඩිවීමට අනුව, මසකට ඒකක 30 ට අඩු පරිභෝජනයක් ඇති ගෘහස්ථ කාණ්ඩයට පිරිවැයෙන් සියයට 25 ක් අය කෙරෙනු ඇති අතර එමඟින් තවමත් සියයට 75 ක සහනයක් ලැබේ. පාරිභෝගිකයින් ඒකක 31 ට වැඩි සහ ඒකක 60 ට අඩු කාණ්ඩයට අයත් වන අතර මුළු පිරිවැයෙන් සියයට 40 ක් අය කෙරේ. ඔවුන්ට සියයට 60ක සහනාධාරයක් ලැබෙනවා. 61 ට වැඩි සහ 90 ට අඩු ඒකක කාණ්ඩයෙන් සැබෑ පිරිවැයෙන් සියයට 50 ක් පමණක් අය කෙරේ. එම කාණ්ඩයට ද සියයට 50 ක සහනාධාරයක් ලබා දේ. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 75කට නව ගාස්තු සංශෝධනයෙන් පවා සහනාධාරය හිමිවේ. ගාස්තු සංශෝධන තීරණයත් සමඟ විදුලිය ඉතිරි කර ගැනීමට සහ පුනර්ජනනීය විදුලි උත්පාදනය ප්‍රවර්ධනය කිරීමට විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීමට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මෙම සේවාවට අමතරව මහජනතාවට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට 0112392607 හෝ 0112392608 සහ info@pucsl.gov.lk හෝ consumers@pucsl.gov.lk හෝ www.facebook.com/pucsl ඇමතීමෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා සම්බන්ධ විය හැක.

අවසන් වේ.