අ.පො.ස. සා.පෙ. විභාගය පැවති කාලය තුලදී විභාග කටයුතු වලට බාධාවන පරිද්දෙන් උද්ඝෝෂන හා මාර්ග අවහිර කිරීම් වලින් වැළකෙන ලෙස කල ඉල්ලීමට දැක්වු සාධනීය ප්‍රතිචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවට සිය ස්තුතිය පල කර සිටී.
බ්‍රහස්පතින්දා, 2 ජූනි 2022 |

ප්‍රවෘත්ති නිවේදනය (02, June 2022)

 මාර්ග අවහිර කිරීම් හා උද්ඝෝෂණ වලින් වැලකී මහජනතාව විභාගය සාර්ථකව පවත්වාගෙන යාම සදහා උපරිම සහාය දක්වා ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි. විභාග දිනවලදී විදුලි කප්පාදුව අවම කරමින් බාධාවකින් තොරව විභාගය පැවත්වීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව උපරිම ආකාරයෙන් දායක විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා..

“විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය විදියට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශාල පරිශ්‍රමයක් දරා විභාග පැවත්වෙන කාලය තුලදී මෙන්ම විභාගය පැවති දිනවල රාත්‍රිකාලයේද විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සදහා පියවර ගත්තා. විභාග දෙපාර්තමේන්තුවටත්, විභාගයේ රාජකාරි කරන නිලධාරීන්ට, විභාගය පෙනී සිටි ලක්ෂ 5කට අධික සිසුන්ට හා ඒ් දෙමාපියන්ට විභාග කටයුතු සාර්ථකව කරගෙන යාම සදහා විදුලි කප්පාදුව අවම ලෙස සිදු කලා. මෙවර විභාගය පැවති කාලයේදී රටේ පැවති නොසන්සුන් තත්වය නිසා ඇතිවිය හැකි මහජන උද්ඝෝෂණ හා පෙලපාලි වලින් ද විභාගයට අවහිරතා ඇතිවීමේ ඉඩකඩ තිබුණා. ඒ් නිසා විදුලිය සැපයීම තහරවුරු කිරීමෙන් පමණක් විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යා නොහැකි බව අප තේරුම්ගත්තා. ඒ් නිසා අපි විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කළා මාර්ග අවහිර කෙරෙන උද්ඝෝෂණ වලින් වළකින ලෙස. ඇත්තෙන්ම විභාග පැවති දිනවල මාර්ග අවහිර කරමින් විභාගය සදහා ගමනාගමන කටයුතු වල යෙදුන අයට බාධාකිරීමේ සිද්ධි කිසිවක් වාර්තා වුණේ නැහැ. අපි අපේ ස්තුතිය හා කෘතඥතාව පුද කරනවා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉල්ලීමට කන් දෙමින් විභාග දිනවලදී මාර්ග අවහිර කෙරෙන උද්ඝෝෂණ වලින් මහජනතාව වැළකී සිය දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහාය වීම සම්බන්ධයෙන්”