නිසි ඉංධන මිල සුත්‍රයක් නොමැති වීමෙන් විදුලිය නිපදචීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා පාරදෘශ්‍ය මිල සුත්‍රයක් ක්‍රියාවට නගන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් යෝජනාවක්
සඳුදා, 18 ජූලි 2022 |

2022 ජුලි 18

ප්‍රවෘත්ති නිවේදනය

නිසි ඉංධන මිල සුත්‍රයක් නොමැති වීමෙන් විදුලිය නිපදචීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවන නිසා පාරදෘශ්‍ය මිල සුත්‍රයක් ක්‍රියාවට නගන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් යෝජනාවක්

 

සාධාරණ පිරිවැය ජනතාවට දැනගත හැකිවන ආකාරයට ඉංධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ක්‍රියත්මක කල යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටද තමා තොරතුරු ඉදිරිපත් කල බව රත්නායක මහතා ප්‍රකාශ කරයි. ලෝක වෙළද පොලේ පවත්නා සත්‍ය මිල ගණන් වලට අනුකූලව මෙරට ඉංධන ලීටරයක මිල තවදුරටත් අඩුවිය යුතු ය. සත්‍ය ඉංධන මිල ගණන් සම්බන්ධයෙන් තමා මීට පෙර ඉදිරිපත් කල දත්ත නිවැරැදි බවට මුදල් අමාත්‍යංශය විසින් ද තහවුරු කර ඇති බව ඊයේ පල වු පුවත් පත් වාර්තාවකින් පැහැදිලි වන බව ජනක රත්නායක මහතා පැවසුවේය.

“ඊයේ රාත්‍රියෙදි රුපියල් 20කින් පෙට්‍රල් මිල පහල දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 150කින් පමණ අඩු කල හැකි බව. රේගු දත්ත අනුව ලංකාවට ඉංධන ආනයනය කරන සත්‍ය මිල ගණන් පදනම් කරගෙනයි මේ කරුණු හෙලි කලේ. තවමත් මෙම සත්‍ය මිල ගණන් මොනවාද යන්න ඛණිජ තෙල් අංශයේ බලධාරීන් විසින් හෙලි කර නැහැ. රටේ ආර්ථිකයට දැඩිව බලපාන ඉංධන මිල තීරණය කිරීම සදහා පාරදෘශ්‍ය ක්‍රමයක් තිබිය යුතු ය. වත්මන් ලෝක වෙළද පොල මිල ගණන් අනුව ඊයේ රාත්‍රියේ කල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. ඊයේ පල වු තවත් පුවත්පත් වාර්තාවක් මගින් මා විසින් ඉංධන මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කල දත්ත තවදුරටත් තහවුරු කර තිබෙනවා. වත්මන් වෙළදපෙල දත්ත වලට අනුව සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉංධන ආනයනය සදහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉංධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100කින් පමණ පහල දැමි ය හැකිය. සාධාරණ වියදම් මත පදනම් වු කාටත් දැනගත හැකි සරළ ක්‍රමයකට ඉංධන මිල තිරණය කල යුතු ය.  ඒ් වගේම නිසි කාල රාමුවක් පදනම් කරගත් වෙළද පොල අක්‍රමිකතා ඇති නොවන ආකාරයට ඉංධන මිල සුත්‍රය ක්‍රියාවට නැගිය යුතු යි. නිසි කාල රාමුවකින් තොරව වෙනත් අරමුණු පදනම්කරගෙන ඉංධන මිල තීරණය නොකල යුතු ය”

සාධාරණ වියදම් මත පදනම් නොවු ඉංධන මිල විදුලි ගාස්තු වලට දැඩි ලෙස බලපා ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙනවා

“විදුලි ගාස්තු තීරණය කරන්නේ සාධාරණ වියදම් මත පදනම් වු විනිවිද භාවයකින් යුත් ක්‍රමවේදයක් පදනම් කරගෙන. විදුලි පාරිභෝගිකයාට වගේම මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ට විදුලිය ජනනය කිරීමේ සිට බෙදාහැරීම දක්වා සියලු වියදම් දැනගත හැකි ආකාරයට ප්‍රසිද්ධ කෙරෙනවා. විදුලිය ජනනය සදහා දැනට ඉංධන බලාගාරවලින් 35%ක දායකත්වයක් කෙරෙනවා. මේ බලාගාරවලට ඩීසල්, දැවිතෙල් සහ නැෆ්තා කියන ඉංධන වර්ග 3ම භාවිතා වෙනවා. අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා දෛනිකව ඉංධන මෙට්‍රික් ටොන් 3250ක් පමණ විදුලිය ජනනයට වැය වෙනවා. විදුලි ගාස්තු තීරණය කිරීමේදී  ඉංධන සදහා අපි ගෙවන්නේ සාධාරණ මිලක් ද යන්න දැනගත යුතු ය. මේ වන විට මේ බලාගාරවලට දැවිතෙල් ඉංධන ලීටරයක් සැපයෙන්නේ රුපියල් 419කට. නමුත් රේගු දත්ත අනුව ගණනය කලහොත් ලීටරයක සාධාරණ මිල විය යුත්තේ රුපියල් 191ක්. ඒ අනුව විදුලිබලාගාර වලින් සෑම ලීටරයකටම වැඩිපුර රුපියල් 228ක් අය කරනවා. මේ නිසා විදුලි පාරිභෝගිකයින් මත වාර්ෂිකව රුපියල් බිලියන 270ක නැත්නම් රුපියල් කෝටි 2700ක අමතර බරක් පැටවෙනවා. සාධාරණ මිල ගණන් වලට විදුලිය ජනනය සදහා ඉංධන සැපයෙනවා නම් දැනට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ බලපෑම අවම කල හැකි ය”

 

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහල යාමේ ප්‍රවනතාවයක් පවතී. එහි වාසිය ලබාගැනීම සදහා මෙරට පිරිපහදුව සදහා අඛන්ඩව බොරතෙල් සපයා විදුලි ජනනය සදහා අවශ්‍ය සියලුම ඉංධන වර්ග අවම මිල ගණන් යටතේ සපයාගත හැකි වේ.විදුලිගාස්තු සදහා ක්‍රියාත්මක මිල ක්‍රමවේදය වැනි පාරදෘශ්‍ය හා විද්‍යාත්මක පදනමක් සහිත මිල සුත්‍රයක් හා මිල නියාමනයක් ඉංධන සදහා ද කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කළා.

විදුලිබල කර්මාන්තය නියාමනය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පුර්ණ නෛතික බලතල ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් කොමිෂන් සභාව වෙත පැවරී තිබෙනවා. ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය සදහා කොමිෂන් සභාව නම් කරල තියෙන්නේ 2006 වසරේදි. නමුත් නියාමන බලතල නෛතිකව පවරාදෙන ඛනිජ තෙල් කර්මාන්තයට අදාල පනත් තවමත් පාර්ලිමේන්තුවේ සම්මත කර නැහැ. ඒ නිසා කොමිෂන් සභාවට හෝ වෙනත් නියාමන ආයතනයකට ඛනිජ තෙල් නියාමනය සදහා මැදිහත් වීමට නීතිමය බලතල නැහැ. මම යෝජනා කරන්නේ කඩිනමින් ඛනිජ තෙල් නියාමනයේ වගකීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බාර දෙන ලෙස. එවිට ඉංධන මිල සදහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාවට නැගිය හැකියි.  එවිට ඉංධන මිල නියාමනය, කාර්යක්ෂම බෙදාහැරීම, උසස් සේවා තත්වය හා ගුණාත්මක භාවය වැනි අරමුණු ලගා කරගත හැකියි.  මෙවැනි නියාමන යාන්ත්‍රණයක් මගින් සාධාරණ මිල ගණන් යටතේ ඛනිජ තෙල් පාරිභෝගිකයාට වගේම විදුලි බල ක්ෂේත්‍රය සදහා ඉංධන සැපයීම මගින් විදුලිබල හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ මිල ස්ථායිතාවය තහවුරු කල හැකිය.

අදාල ප්‍රවෘත්ති නිවේදනය භාගත කරගන්න