ප්‍රවෘත්ති නිවේදනය – යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් කැදවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි
අඟහරුවාදා, 28 ජූනි 2022 |

2022 ජුනි 27

ප්‍රවෘත්ති නිවේදනය

යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් කැදවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය (බෙදාහැරීම් බලපත්‍රලාභියා) 2022 වර්ෂය සදහා 82% ක ගාස්තු ඉහලදැමීමක් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා තිබේ. කෙසේවෙතත් බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57%කට නොවැඩි විය යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරය වේ. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා

“මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14ක්. එය සමස්ත ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් 50% ක් පමණ වේ. මෙම විදුලි පාරිභෝගික පිරිස සදහා රුපියල් බිලියන 65ක ක සහනාධාරයක් සපයන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා තොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනයට ඒකක 60ට වඩා අඩු කාණ්ඩය සදහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකියි. ලංවිම යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලිබිල රුපියල් 507ක් දක්වා ඉහල යනවා. එය සියයට 835ක වැඩිවීමක්. මාසික පරිභෝජනය ඒකකට 30වැඩි 60 අඩු අයගේ සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488ක් දක්වා ඉහල යනවා.  ප්‍රතිශතයක් වශයෙන් 673% ක ගාස්තු ඉහල යාමක්. මේ සහනාධාරය හේතුවෙන්  එවැනි ගාස්තු වැඩකිරීමක්  වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකටයින් සදහා සමාන්‍ය මාසික විදුලි බිල රුපිලයල් 227ක් හා ඒකක 30ට වැඩි ඒකක 60ට අඩු පාරිභෝගිකයින් සදහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658ක මට්ටමේ පවත්වා ගත හැකි වනවා. ඒ අනුව අපි එම කාණ්ඩ දෙක සදහා පිළිවෙලින් ගාස්තු ඉහල යාම 320% හා 242% මට්ටමට අඩු කලා. සමස්ත ගෘහස්ත අංශය සදහා සියයට 138ක ගාස්තු ඉහලදැමීමක් යෝජනා කරතිබුණත්  එය සියයට 67කට වඩා නොවැඩි විය යුතු යයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දී ඇත. පොදුකාර්ය කාණ්ඩයයේ විදුලි පාරිභෝගිකයින් සදහා සියයට 45ක් ද කර්මාන්ත අංශයේ විදුලි පාරිභෝගිකයින් සදහා සියයයට 61ක් ද හෝටල් අංශය සදහා සියයට 43ක් ද රාජ්‍ය ආයතන සදහා සියයට 43ක් ද ආගමික ස්ථාන සදහා සියයට 189ක් ද වශයෙන් විදුලි ගාස්තු වැඩිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා”

යෝජිත ගාස්තු සංශෝධනය අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 18.14 සිට රුපියල් 32.48ක් දක්වා 82%කින් ඉහල දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉලක්ක කර ති‌බේ. මේ පිළිබද කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“මෙම ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512ක වාර්ෂික ආදායමක් ඉලක්ක කරනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශය වනුයේ සාමාන්‍ය විදුලි ඒකකයක මිල රුපියල් 28.14 වඩා ඉහල නොදැමිය යුතු බවයි.  ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්යක්ෂමතාව ඉහල දැමීම සදහා මෙහෙයුම් පිරිවැය සියයට 10කින් අඩුකර එම ඉතිරිකිරීම භාවිත කර වැඩි වශයෙන් පුනර්ජනනීය විදුලිය පද්ධතියට ලබාගැනීමට ක්‍රියාකල යුතු බවටත් අපි නිර්දේශ කරනවා”

මීට අමතරව 2014 වර්ෂයේ ගාස්තු සංශෝධනය සමග ලංකා විදුලි බල මණ්ඩලයට පැනවු කොන්දේසි තවමත් ඉට කර නැති බවද කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ. එම කොන්දේසී වනුයේ:

  • ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කර සැපයීම සදහා නිසි විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රමයක් ක්‍රියාවට නැගීම
  • ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේශණ හා බෙදාහැරීම් අංශ (බලපත්‍රලාභීන් අතර) විදුලි ගනුදෙනු සදහා නිසි ගිවිසුම් ක්‍රමයක් ක්‍රියාවට නැගීම
  • ලංකා විදුලිබල මණ්ඩලයේ විවිධ අංශවල (ජනනය, සම්ප්‍රේශණය හා බෙදාහැරීම) මුල්‍ය කටයුතු සදහා වෙන් වෙන් වශයෙන් ගිණුම් තැබීම හා සහනාධාර අවශ්‍යතා තීරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් හදුන්වාදීම
  • විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය සදහා ස්වාධීන විගණන ක්‍රමයක් හදුන්වාදීම

ඉහත සදහන් පියවර නොගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය හා කාර්යක්ෂමතාවය නිසි පරිදි හදුනාගත නොහැකි යැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ඉංධන බලාගාර සදහා ඉංධන මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් සිදුකෙරෙන වත්මන් විදුලිකප්පාදුව වැළැක්වීමේ අරමුණින් ඩොලර් අදායම් උපයන අපනයන ක්ෂේත්‍රයේ සමාගම් හා සේවා ආයතන වල විදුලිබිල්පත් ඩොලර් මගින් අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත යුතු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ.

යෝජිත ගාස්තු සංශෝධනය අදාල තොරතුරු (මහජන උපදේශන පත්‍රිකාව) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පල කර ඇත. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සීට. ලිඛිත අදහස් පහත සදහන් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කල හැකි වේ. ලිඛිත අදහස් දැක්වීම් 2022 ජුලි 18 වැනි දින දක්වා බාර ගන්නා අතර මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවත්වෙන දිනය හා ස්ථානය ආදි තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. එම වාචික අදහස් දැක්වීමේ සැසියට මාර්ගත (ONLINE) ක්‍රම ඔස්සේ ද සහභාගි වීම සදහා පහසුකම් සලසනු ලැබේ

 

ජනක රත්නායක

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව

 

එම ප්‍රවෘත්ති නිවේදනය