ප්‍රවෘත්ති නිවේදනය 2023-08-11
සිකුරාදා, 11 අගෝස්තු 2023 |

2023 අගෝස්තු 11

ප්‍රවෘත්ති නිවේදනය

ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේශන රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා අදාල ඉඩමෙහි හිමිකරුවන් අතර ආරවුල විසදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2009 අංක 20 ශ්‍රී ලංකා විදුලිබල පනතේ 53 වන වගන්තිය යටතේ 2015 ජනවාරි 25 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පල කරන ලද විදුලිබල ආරාවුල් නිරවුල් කිරීමේ කාර්ය පටිපාටි වලට අනුකූලව අද පැවති සමථකරණ ක්‍රියාවලියේදී ය. සම්ප්‍රේශණ රැහනෙහි මීටර 630ක කොටසක් ඉදිකිරීමේදී අහිමි වන ඉඩම් කොටසේ වන්දිය වශයෙන් පුද්ගලික තක්සේරුකරුවන් විසින් රුපියල් මිලියන 41-35 ක් නිර්දේශ වී තිබු අතර පසුව ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6 ක් වශයෙන් ගණනය කර තිබිණ. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එකගතාව පල කර තිබුණේ රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක් සදහා. ලංකා විදුලිබල මණ්ඩලය මෙම ආරාවුල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අගෝස්තු 2 වැනිදා යොමු කර තිබු අතර දින 8 ක් ඇතුළත ආරාවුල විසදීමට සමත් වුණා. ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයින් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබද සැළකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සදහා අදාල ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට අද එකගතාවය පල කලේ ය. ඒ අනුව මෙම එකගතාව පිළිබද ගිවිසුමට අදාල පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදි අත්සන් කලේ ය. ඒ අනුව අදාල සම්ප්‍රේශණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සලසා ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාල විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමටද අවම උස මීටර් 20 තබා ඉදිකිරීමට ද පොලව මට්ටමේ සිට මීටර 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කල හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්වය හා අඛණ්ඩතාවය පිළිබද රෙගුලාසි වලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකග විය. මෙම එකගතාව අද දින සිට බලාත්මක වේ.
ඉහත ආකාරයේ විදුලිබල කර්මාන්තයට අදාල ආරාවුල් සමථකරණය මගින් විසදීමට ශ්‍රී ලංකා විදුලිබල පනතේ 39 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පවරා ඇත. විදුලිබල සේවා සපයන බලපත්‍රලාභී ආයතන අතර සහ විදුලි පාරිභෝගිකයින් ඇතුළු වෙනත් පාර්ශ්වයන් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම අතර ඇතිවන ආරාවුල් කාර්යක්ෂමව විසදීම සදහා ආරාවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදය 2011 වසරේදී හදුන්වා දෙන ලදී. එම කාර්ය පටිපාටි 2015 වසරේදී යාවත් කාලීන කර ඇත. මෙම ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදය හේතුවෙන් විදුලි බල අංශයේ පැමිණිලි හා ආරාවුල් කාර්යක්ෂම ව විසදීමට හැකියාව ලැබී ඇත. ඉහත සම්ප්‍රේශණ රැහැනට අදාල ආරාවුල නිරවුල් කිරීමේ කමිටුවෙහි සභාපති වරයා වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝෂන් වීරසුරිය මහතා ක්‍රියාකල අතර පළපුරුද්දක් ඇති බාහිර සාමාජිකයින් වශයෙන් නීතිඥ සී එල්ලාවල මහත්මිය සහ ඉංජිනේරු ගාමිණි සේනානායක මහතා කටයුතු කරන ලදී.
වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 2 943 193) මහතා අමතන්න

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඇමුණුම
විදුලිබල ආරාවුල් නිරවුල් කිරීමේ පටිපාටිය පිළිබද අති විශේෂ ගැසට් නිවේදනය