ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනය – 2024 ජනවාරි 23
අඟහරුවාදා, 23 ජනවාරි 2024 |

2024 ජනවාරි 23

ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනය – සටහන

ශීතකරණ හා වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්‍රයන්හි සේවා අංශයේ නියුතු කාර්මික ශිල්පීන් ප්‍රමිති ගැන්වීම සදහා බලපත්‍ර ක්‍රමයක් හා නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීමේ (සහතිකකරණ ක්‍රමවේදය යටතේ) ජාතික වැඩසටහන සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ පරිසර අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා. පරිසර අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මෙම අවබෝධතා ගිවසුමට අද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේදී අත්සන් තැබුහ. විදුලි පරිහරණයේදී ආරක්ෂිතභාවය, බලශක්ති පිරිමැස්ම, පරිසර සංරක්ෂණය සහ ශිතකරණ හා වායු සමීකරණ හා ජංගම වායු සමීකරණ උපකරණ නඩත්තු කිරීමේදී මොන්ට්‍රියල් සන්ධානයේ ප්‍රතිපාදනයන්ට අනුගතවීම අත්‍යවශ්‍ය කරුණක් වේ. මෙහිදී ඕසෝන් වියනට අහිතකර රසායනික ද්‍රව්‍යන් වායුගෝලයට විමෝචනය අවම කිරීම හා පරිසර හිතකාමී ආකාරයට භාවිතය මෙන්ම වැඩි ගෝලීය උණුසුම් විභවයක් සහිත ඕසෝන් ක්ෂයකාරක නොවන රසායනික ද්‍රව්‍යන් භාවිතයේදී ශීතකරණ හා වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්‍රෙය් යහපුරුදු අනුව කටයුතු කිරීම හා විකල්ප ද්‍රව්‍යන් ආරක්ෂිතව හා ප්‍රමිතියකට අනුව සිදු කිරීම අදාල ශිල්පීන් ප්‍රමිතිගත කිරීමෙන් හා සහතිකකරණය සඳහා යොමු වීමේ ඉලක්කයන් වේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව අදියර දෙකක් යටතේ ශීතකරණ හා වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්‍රයේ සේවා අංශයන්හි  නියුතු කාර්මික ශිල්පීන් බලගැන්වීම සිදු කෙරේ. පළමු අදියර යටතේ දැනට මෙම වෘත්තීයේ නිරත එහෙත් පිළිගත් වෘත්තීය සුදුසුකමක් (සහතිකකරණයක්) නොමැති සියළුම කාර්මික ශීල්පීන්ට  ශීතකරණ හා වායුසමීකරණ හා ජංගම වායු සමීකරණ ශිල්පය පිළිබද ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (National Vocational Qualification Level 3) නොමිලේ පිරිනැමේ. ඇගයීම් පරීක්ෂණ ගාස්තු, කෙටි පුහුණුවක් සදහා වැය වන වියදම් සහ අවසාන පරීක්ෂණය සදහා අවශ්‍ය වන විභාග ද්‍රව්‍ය සදහා පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ඕසෝන් ඒකකය විසින් අනුග්‍රහය දක්වනු ලබන අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා වායු සම්පත් කළමනාකරණ හා ඕසෝන් ඒකකය විසින් මෙම වැඩසටහනේ මෙහෙයුම් කටයුතු සිදු කරයි. දැනට ශීතකරණ හා වායුසමීකරණ හා ජංගම වායු සමීකරණ කාර්මික ශිල්පීන් වශයෙන් 10,000කට අධික පිරිසක් වෘත්තියෙහි නිරත වන බවට ඇස්තමේන්තු කර ඇති අතර මේ පිරිස අතරින් පිළිගත් සුදුසුකම් නොමැති සියළුම කාර්මික ශිල්පීන්ට නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම මට්ටම් 03 ලබාගැනීම සදහා මෙම වැඩසටහන මගින් අවස්ථාව සලසා ඇත.

වැඩසටහනේ දෙවන අදියර යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් ලබාගත් කාර්මික ශිල්පීන් සදහා හැදුනුම්පතක් හදුන්වාදීමටද මෙම අවබෝධතා ගිවිසුම යටතේ ප්‍රතිපාදන සලසා ඇත. ප්‍රමාණවත් කාර්මික ශිල්පීන් සංඛ්‍යාවක් ජාතික වෘත්තීය සුදුසුකම් 04 වන මට්ටම (National Vocational Qualification Level 4) ලබාගැනීමෙන් අනතුරුව බලපත්‍ර ක්‍රමය (Licensing Scheme) ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන යටතේ පෙර දැනුම ඇගයීම් ක්‍රමය (Recognition of Prior Learning-RPL) අනුව  ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම නොමිලේ ලබාගැනීම සදහා ලියාපදිංචි වීමට 0764271030 අංකයට ඔබේ නම සහ දිස්ත්‍රික්කය සදහන් කර වට්ස්ඇප් පණිවිඩයක් එවිය හැකිය.

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් 0772943193 හෝ පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමණාකරන හා ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ අප්සරා මෙන්ඩිස් 0112034222 අමතන්න

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකාරණ හා ඕසෝන් ඒකකය

 


Attachments