2013-2015 කාලය සදහා වු සිය ආයතනික සැළැස්ම පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් විමසයි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යටිතල පහසුකම් කර්මාන්ත ත්‍රිත්වයක් නියාමනය සදහා පිහිටවු බහු අංශ නියාමන ආයතනය වේ. 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් එය පිහිටුවන ලද අතර ආරම්භයේදී අදාළ පනත මගින් විදුලිබල කර්මාන්තය, ඛණිජතෙල් කර්මාන්තය හා ජල සේවා සැපයුම් කර්මාන්තය යන ක්ෂේත්‍ර නියාමනය මෙම කොමිෂන් සභාවට පැවරුණි. අදාළ එක් එක් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා කොමිෂන් සභාවට බලය ලබාදෙමින් නියාමනයට අදාළ නෛතික රාමුව සම්පුර්ණ වනුයේ ඒ කර්මාන්ත වලට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත වී බලාත්මක කිරිමෙන් අනතුරුවය
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් හා ලිහිසි තෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමනය භාර ආයතනය වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සෑම වර්ෂයකදීම ඉදිරි වසර තුනක කාලයක් සදහා වු සිය ආයතනික සැළසුම සකස් කර ක්‍රියාවට නංවයි. ඒ අනුව 2013 සිට 2015 දක්වා කාලය සදහා වු ආයතනික සැළසුම මේ වන විට කෙටුමිපත් කර තිබේ. එහි පිටපත් පරිශිලනය සදහා කොමිෂන් සභා කාර්යාලයෙහි තබා ඇති අතර www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් හා ලිහිසි තෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමනය භාර ආයතනය වශයෙන් අදාළ නියාමන කටයුතු වලදී ඒ ඒ කර්මාන්තවලට අදාළව මහජනතාව ඇතුළු සියළු පාර්ශ්වයන්ගේ ප්‍රමුඛත්වයන් හදුනාගැනීම ඉතා වැදගත් වේ. එසේ හෙයින් මෙම ආයතනික සැළසුම ක්‍රියාවට නැගීමට පෙර එහි ඇතුළත් ව්‍යාපෘති සම්බන්ධයෙන් සියළු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. එසේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව අදාල වැදගත් යෝජනාද ඇතුළත් වන සේ මෙම ආයතනික සැළසුම සංශෝධනය කර ක්‍රියාවට නැගීමට අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා කොමිෂන් සභාවට ලිඛිතව තැපැල් මගින් හෝ ඊමේල් මගින් ඉදිරිපත් කළ හැකිය. එම අදහස් 2012 නොවැම්බර් මස 15වැනි දින දක්වා බාර ගැනේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළද කුළුණ, අංක 28
ශාන්ත මයිකල් පාර, කොළඹ 3.