විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් අද පවත්වන මෙම විදුලි ආරක්ෂණ දින වැඩසටහන සදහා සහභාගි වන ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් අපිට, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම් අතර විදුලි ආරක්ෂණය ද ප්‍රධාන තැනක් ගන්නවා. විශේෂයෙන්ම විදුලිය පරිහරණයේදී ජීවිතවලට දේපලවලට ඇතිවිය හැකි හානි වැළැක්වීම සදහා පියවර ගැනීම අපේ වගකීමක්. ඒ අනුව විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ රෙගුලාසි ඇතුළු නීති රීති සකස් කර මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට විදුලිබල ආරක්ෂාව සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළු නීති මාලා 20කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාවට නගා තිබෙනවා. මේවායේ අරමුණ විදුලිය භාවිතයේදී ඇතිවිය හැකි අනතුරු වැළැක්වීමයි. විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් මේ විශේෂ විධිවිධාන ක්‍රියාත්මක කීරීමට සිදුවුයේ විදුලිය සැර වැදීම් වලින් සිදුවන ජීවිත හානි වැඩිවීමේ තත්වයක් ඇති වුණ නිසායි. 2012 දී වසරකට විදුලි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 ක් පමණ මිය ගියා. මේ තොරතුරු හෙලී වීමෙන් පසුළු කොමිෂන් සභාව කඩිනම් පියවර ගත්තා මේ අනතුරු වැළැක්වීම සදහා. පසුගිය වසර කීපය තුල අත්පත් කරගත් ප්‍රගතිය අනුව මෙම මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවීමක් දක්නට පුළුවන්. 2018 වසරේ දී විදුලිය සැර වැදීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 85 දක්වා අඩුවුණා. අපේ ඉලක්කය ඉදිරි වසර කීපය තුලදී තවදුරටත් මේ මරණ සංඛ්‍යාව අඩු කිරීමයි. විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ප්‍රගතිය අත්පත් කරගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලයත් ලංකා විදුලි පුද්ගලික සමාගමත් බලපත්‍රලාභීන් වශයෙන් ඔවුන්ට පැවරී ඇති වගකීම් නිසියාකාරයෙන් ඉටුකරන බවද මෙහීදී කිව යුතු යි. ඒ වගේම ශ්‍රී ලංකා පොලීසියත් මේ සදහා අනගි සහායක් ලබාදෙනවා. අවසාන වශයෙන් මහජනතාවටත් විශේෂ වගකීමක් පැවරෙනවා. ඒ තමයි තමන්ගේ වගේම අන්‍යන්ගේ ද ආරක්ෂාව සදහා පවත්නා නීතී රීති වලට අනුකූලව කටයුතු කිරීම. විදුලිබල ආරක්ෂාව සම්බන්ධයෙන් මේ රටේ දරුවන් දැනුවත් කිරීම ඉතාම ඵලදායක් කාර්යයක්. මේ දැනුවත් කිරීම් අඛණ්ඩව සිදු කල යුතු යි. විදුලිබල ආරක්ෂාව පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වසරේදී ද විශේෂ වැඩසටහන් සැළසුම් කර තිබෙනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඉදිරියේදීත් අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා
ස්තුතියි