විදුලි රැහැන් ආසන්නයේ අනාරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීම වැළැක්වීමට නව නීති
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ප්‍රවෘත්ති නිවේදනය

විදුලි රැහැන් ආසන්නයේ අනාරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීම වැළැක්වීමට නව නීති

විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාවට නගා තිබේ. මෙම රෙගුලාසිය මගින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම නව රෙගුලාසිය ඇනුමත කර තිබේ. විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසිය ක්‍රියාවට නැගීම සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයද සහාය දක්වයි.

සම්ප්‍රේෂණ හෝ බෙදාහැරීම් රැහැනේ වෝල්ටීයතාවය අනුව තැබිය යුතු අවම පරතර විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 36 හා 37 වන නියෝග යටතේ දක්වා තිබේ. රැහැනේ වෝල්ටීයතාවය වොල්ට් 1000ට අඩු නම් එවැනි රැහැනක සිට ගොඩනැගිල්ලක් දකවා අවම පරතරය සිරස්ව මීටර 2.4ක් විය යුතු වේ. අවම තිරස් දුර මීටර 1.5කි. විදුලි රැහැනෙහි වෝල්ටීයතාවය වැඩි අගයක් ගන්නා විට තැබිය යුතු අවම පරතරයද වැඩි අගයක් ගනී. විදුලිබල ආරක්ෂාව පිළිබද රෙගුලාසියෙහි 37 වන වගන්තිය අනුව අවම පරතරයට වඩා අඩු පරතරයක් සහිතව නව ගොඩනැගිලි ඉදිකිරීම නීති විරෝධි වේ.
ඒ අනුව ඉදිරියේදී නව ඉදිකිරීම් සදහා සංවර්ධන බලපත්‍ර පිරිනැමීමේදී විදුලි රැහැන් හා අදාල ඉදිකිරීම් අතර නිසි පරතරය පිළිබද ප්‍රමිතියද සොයා බැලෙනු ඇත. මෙම ප්‍රමිතියට අනුකූලව සංවර්ධන බලපත්‍ර පිරිනැමීම සදහා අදාල පළාත් පාලන ආයතන වෙත උපදෙස් දෙන ලෙස සියළුම පළාත් පාලන කොමසාරිස් වරුන් වෙත පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් විසින් දැනුම් දී තිබේ. මේ අනුව සංවර්ධන බලපත්‍ර සදහා ඉදිරිපත්කෙරෙන අයදුම්පත්‍රවලට ගොඩනැගිලි හා විදුලි රැහැන් පිළිබද අවම පරතරයන් සනාථ කෙරෙන තොරතුරු ද ඇතුළත් කෙරෙනු ඇත. නව රෙගුලාසියට අනුව ඉදිකිරීම් වලදී අදාල වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් ආරක්ෂිත සහතිකයක් ලබාගත යුතු වේ.

වැඩි වෝල්ටීයතාව තිරස් දුර සිරස් දුර
1000 අඩු වෝල්ටීයතාව 2.40 m 1.50 m
1000 වැඩි 11,000 අඩු 2.70 m 1.50 m
11000 වැඩි 33,000 අඩු 3.00 m 2.00 m
33000 වැඩි 132,000 අඩු 4.10 m 4.10 m
132,000 වැඩි 220000 අඩු 5.18 m 5.18 m
අදාල රෙගුලාසිය කියවන්න