විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිලිබඳ කතිකාව
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

මෙරට විදුලිබල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණවලින් පසුව ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ යන අංශවල උන්තතියක් දක්නට ලැබේ. නියාමනය හේතුවෙන් විදුලිබල උත්පාදන පිරිවැයේ සිට අවසන් පාරිභෝගික ගාස්තු දක්වා වු තොරතුරු වඩා විනිවිදභාවයකින් ප්‍රකාශයට පත්වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන තීරණ ගන්නා විට ඒ සදහා අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ඒ තීරණගැනීමේ ක්‍රියාවලියට සහභාගි වීමටද මහජනතාවට හැකියාව ලබා දී ඇත. විදුලිබල කර්මාන්තයේ උන්නතියේ මීළග පියවර ඉහල ගුණාත්මක සේවා තත්වයක් සහතික කිරීම සහ උසස් පාරිභෝගික සේවාවක් සැපයීමයි. සපයන විදුලිබලයෙහි ගුණාත්මක තත්වය මෙන්ම ඒ සේවාවට අදාලව සිය සේවා දායක සමාගම ලබාදෙන සේවාව උසස් මට්ටමකට ගෙන ආ යුතු වේ. විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම යන බලපත්‍ර ලාභීන් සිය සේවාවෙහි ගුණාත්මක තත්වය ඉහල දැමීමට අඛණ්ඩව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා විදුලිබල පනත ක්‍රියාවට නැගීමෙන් පසුව විදුලිබල කර්මාන්තයේ නියාමනය ආරම්භ වු අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නියාමන ආයතනය වශයෙන් සේවා තත්වය ඉහල නැංවීම හා පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පියවර ගණනාවක් ගෙන තිබේ. ඒවා අතර පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඝෘජුවම සම්බන්ධ වන ඒවා පහත දැක්වේ
• බලපත්‍රලාභීන් විසින් සැපයුම් සේවා සංග්‍රහයන් ප්‍රකාශයට පත්කිරීම
• පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් පිළිබද ප්‍රකාශය එළිදැක්වීම
• විදුලි පාරිභෝගික ආරාවුල් විසදීම සදහා රීති සකස් කිරීම
• පාරිභෝගික කටයුතු අංශය මගින් පැමිණිලි කළමණාකරණය
• පාරිභෝගික උපදේශන කමිටුව සදහා සහාය වීම
කොමිෂන් සභාව විසින් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කීරීම සදහා ගෙන ඇති ඉහත ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු වන අතර ඒවා පිළිබද පාරිභෝගිකයින් ඇතුළු සියළු පාර්ශ්වයන් දැනුවත් විය යුතු වේ. එසේම ඉහත දැක්වු රීති හා මාර්ගෝපදේශ කලින් කලට යාවත් කාලීන විය යුතු වේ. මේ සම්බන්ධයෙන් පුළුල් හා අඛන්ඩ සංවාදයක් පැවතිය යුතුය. මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමිව සංවිධානය කරනු ලබන විදුලි පාරිභෝගික සංසදයෙහි අරමුණු එවැනි සංවාදයක් ආරම්භ කිරීමයි. ඒ හරහා විදුලි පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන පාරිභෝගික කණ්ඩායම් හා සමාජ ස්ථාපිත කිරීමට උනන්දු කරවීමත් ඒවා බලගැන්වීමත් තවත් අරමුණකි. එවැනි ශක්තිමත් පාරිභෝගික කණ්ඩායම් අනාගත නියාමන තීරණ සදහා ඵලදායිව දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිය අයිතිවාසිකම් මොනවාදැයි යන්න පිළිබද විදුලි පාරිභෝගිකයින් දැනුවත් වීම එම අයිතිවාසිකම් ආරක්ෂාවේදී ඔවුන්ගේ සක්‍රිය දායකත්වය සදහා අත්‍යවහ්‍ය සාධකයකි. ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමිව මෙරට විදුලි පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් පිළිබද කතිකාවක් ආරම්භ කිරීමේ අරමුණ විදුලිබල සේවා සපයන සමාගම්, විදුලි පාරිභෝගිකයින් සහ අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන පාරිභෝගික අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීමත් සේවාවෙහි තත්වය අඛන්ඩව ඉහල දැමීමත්ය.
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද කතිකාවෙහි සමාරම්භක අවස්ථාව 2016 මාර්තු 14 වැනි දින කොළඹදි පැවත්විණි. කතිකාවෙහි පිළිගැනීමේ කතාව කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව් මහතා පෙන්වා දුන්නේ සිය අයිතිවාසිකම් පිළිබද දැනුමින් විදුලි පාරිභෝගිකා සන්නද්ධ වු විට සිය අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීමටත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සහතික කර ගැනීමටත් හැකි වන බවයි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය බී එම් එස් බටගොඩ මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම් අයි එම් රෆීක් මහතා මෙම කතිකාවෙහි ආරම්භක දෙසුම් පැවත්වීමට නියමිතව තිබුණි. එම දෙසුම් වලින් අනතුරුව සාකච්ඡා මණ්ඩපය ආරම්භ විය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා එහි මුලසුන දැරීය. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එම් සී වික්‍රමසේකර මහතා, ලංකා විදුලි පුද්ගලික සමාගමේ(ලෙකො) සාමාන්‍යාධිකාරි එච් එන් ගුණසේකර මහතා විදුලිබල සේවා සැපයුම් ආයතන නියෝජනය කරමින් සාකච්ඡා මණ්ඩපයට සහභාගි විය. විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිකයෙකු වන ක්‍රමෝපායික ව්‍යවසාය කළමණාකරන ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතාද සාකච්ඡා මණ්ඩපයේ නියෝජිතයින් ලෙස සහභාගි විය.
සාකච්ඡා සභාවේ අදහස් දැක්වීම් වලින් අනතුරුව සහභාගි වුවන් ගේ ප්‍රශ්න සදහා ඉඩකඩ ලබාදෙන ලදී.
මෙම කතිකාවේ දී ඉදිරිපත් වු යෝජනා හා අදහස් මත පදනම්ව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සදහා ගන්නා ඉදිරි පියවර තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය