විදුලි පාරිභෝගිකයින්ගේ ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිමට හා ලෙකො ආයතනයට නිර්දේශ කරයි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ප්‍රවෘත්ති නිවේදනය

(30/01/17) ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) විදුලි පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 වන වගන්තියට අනුව විදුලි පාරිභෝගිකයින්ට හිමිවන වරප්‍රසාදයක් ක්‍රියාවට නැගීම සදහා මෙම නිර්දේශ සකසා ඇත. එම වගන්තියට අනුව පාරිභෝගික ආරක්ෂිත තැන්පතු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන පොලී අනුපාතිකයක් යටතේ විදුලිබල සේවා සැපයුම් ආයතන (ලංවිම හා ලෙකො) මෙසේ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවිය යුතු වේ.

ඒ අනුව සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින් (ගෘහස්ත සහ මාසික විදුලි ඉල්ලුම දහසු වෝල්ත ඇම්පියර් 42කට වඩා අඩු පාරිභෝගිකයින්) සදහා පොලිය වාර්ෂිකව ගණනය කර එළඹෙන වර්ෂයේ ජනවාරි මාසයේදී පාරිභෝගික බිල්පතෙහි එම පොලී ආදායම ගැලපිය යුතු වේ.
විශාල පරිමාණයේ විදුලි පාරිභෝගිකයින් (මාසික විදුලි ඉල්ලුම් දහසු වෝල්ත ඇම්පියර් 42 ට වැඩි පාරිභෝගිකියින්) ගේ තැන්පතු සදහා මාසිකව පොලිය ගණනය කර එළඹෙන මාසයේ බිල්පතට බැර කල යුතු වේ.

ආරක්ෂිත තැන්පතු මුදල සංශෝධනයක් සිදු වු විටකදී එය සාමාන්‍ය පාරිභෝගිකයන් සදහා වාර්ෂිකවද මහා පරිමාණ පාරිභෝගිකයින් සදහා මාසිකවද යාවත් කාලීන කළ යුතු ය.

විදුලි පාරිභෝගිකයා විසින් සිය විදුලි සම්බන්ධතාව හා ගිණුම අහෝසි කරන විටකදී එම දිනය දක්වා වු පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල අඩුකර ඉතිරි වන ආරක්ෂිත තැන්පතුව සදහා පොලිය ද සමග සම්පුර්ණ තැන්පතු මුදල මසක් ඇතුළත ගෙවිය යුතු වේ.

2017 වසර සදහා ගෙවිය යුතු වාර්ෂික පොලිය 8.93ක් බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. එය මාසික පදනම් මත ගණනය කරන විට 0.715ක ප්‍රතිශතයකි. මෙම පොලිය ගණනය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත සාමාන්‍ය බරතබන ලද ස්ථාවර තැන්පතු අනුපාතය පදනම් කරගෙන ය. ඉදිරි වර්ෂ සදහා අදාල වන පොලී අනුපාතය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකද ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීමේ දී පාරිභෝගිකයින් යම් ගැටළුවලට මුහුණ පාන්නේ නම් ඒ පිළිබද පැමිණිලි සිය සේවා දායක ආයතනය (ලංවිම හෝ ලෙකො) වෙත මුලින් ම ඉදිරිපත් කළ යුතු ය. එම පැමිණිලි සදහා නිශ්චිත කාලයකදී සෑහීමකට පත් විය හැකි විසදුමක් නොලැබුණහොත් එවැනි ආරාවුල් විසදීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි වේ.

විදුලි පාරිභෝගිකයින්ගේ ආරක්ෂිත තැන්පතු සදහා පොලී ගෙවීම පැහැර හැරීම ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි අදාල වගන්තිය උල්ලංඝණය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දේ.