විදුලිබල සැපයුමෙහි ආරක්ෂාව, සේවාවෙහි ගුණාත්මකභාවය හා සැපයුම් අඛණ්ඩතාවය තහවුරු කිරිමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගනී
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික සහ ආරක්ෂණය පිළිබද නියාමන ආයතනය වේ. තාක්ෂණික හා ආරක්ෂණය සම්බන්ධ නියාමනයේදී විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයීම සහ භාවිතයේදී උද්ගත විය හැකි අනතුරුවලින් මහජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීම ප්‍රධාන වේ. එහිදී උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා සැපයීම යන කාර්යයන් සදහා බලපත්‍ර ලබාගෙන ඇති පාර්ශ්වයන්, බලපත්‍රවලින් නිදහස් කර ඇති පාර්ශ්වයන්, උප කොන්ත්‍රාත්කරුවන් සහ පාරිභෝගිකයින් ආදි සියලු පාර්ශ්වයන් විසින් අදාල මෙහෙයුම් හා භාවිතයේදී විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. එසේ විවිධ පාර්ශ්වයන් විසින් සිය වගකීම ඉටුකිරීම තහවුරු කිරිම හා අධික්ෂණය සදහා නිසි ක්‍රමෝපාය වනුයේ අදාල ක්‍රියාමාර්ග රෙගුලාසි වශයෙන් බලාත්මක කිරීමයි. 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව විදුලිබල ක්ෂේත්‍රයට අදාල රෙගුලාසි අවසාන වශයෙන් බලාත්මක කිරිමේ බලය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත පැවරි ඇති අතර එම රෙගුලාසි අමාත්‍යවරයා වෙත නිර්දේශ කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමකි. ඒ අනුව කොමිෂන් සභාව විසින් මේ වන විට විදුලි සැපයුමෙහි ආරක්ෂාව, සේවා තත්වය හා සැපයුම් අඛණ්ඩතාවට අදාළ රෙගුලාසි කෙටුම්පත් කර ඇත.

යෝජිත රෙගුලාසි මගින් පහත සදහන් අංශ ආවරණය කෙරේ.

· විදුලිබල සැපයුමෙහි ගුණාත්මක තත්ත්වය හා අඛණ්ඩතාවය
· විදුලිබල රැහැන් මාර්ගයකින් හෝ විදුලිබල උත්පාදනය සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයීම හෝ භාවිතය යන කාර්යයන්හිදී සිදුවිය හැකි අන්තරායකර තත්වයන්ගෙන් මහජනතාව ආරක්ෂාකර ගැනීම සදහා අදාළ පාර්ශ්වයන් සපුරාලිය යුතු ප්‍රමිති
· විදුලිබල සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ සැපයුම, හා භාවිතය ආශ්‍රිතව විය හැකි පුද්ගල අනතුරු හා දේපල හානිවීම් අවම කිරීම හෝ සහමුලින්ම ඉවත් කිරිමට අදාල පියවර

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරිම මගින් විදුලිබල පාරිභෝගිකයාගේ අයිතීන්ද තහවුරුකරමින් විදුලිබල සේවාවෙහි ගුණාත්මකභාවය හා කර්යක්ෂමතාවය ඉහළ නැංවීම ඉලක්ක කෙරේ.

මෙම රෙගුලාසි සකස් කිරිමේ ක්‍රියාවලියේදී අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනාද සැළකිල්ලට ගැනීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව දැනට කෙටුම් පත් කර ඇති රෙගුලාසි සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන් පාර්ශ්වයන්ට සිය අදහස් ඉදිරිපත් කිරීමට අවශ්ථා සළසා ඇත. අදාළ රෙගුලාසි කෙටුම්පතෙහි පිටපත් මෙම කොමිෂන් සභාවෙහි කාර්යාලයට (6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, ශාන්ත මයිකල් පාර, කොළඹ 3) පැමිණ හෝ www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. ලිඛිත අදහස් ඉදිරිපත් කිරීම සදහා දී ඇති කාලය 2012 නොවැම්බර් 05 වැනි දිනයෙන් අවසන් වේ.

ඉදිරිපත්වන සියලු ලිඛිත අදහස් අධ්‍යනය කිරීමෙන් අනතුරුව රෙගුලාසි කෙටුම්පතට අවශ්‍ය සංශෝධනය කරනු ඇත. එම සංශෝධිත රෙගුලාසි කෙටුම්පත කොමිෂන් සභාව විසින් අනුමත කර 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ විදුලිබල අමාත්‍යවරයා වෙත නිර්දේශ කිරිමට නියමිත වේ.අදාළ රෙගුලාසි බලාත්මක වන්නේ අමාත්‍යවරයා විසින් නිල වශයෙන් රජයේ ගැසට් මගින් නිවේදනය කිරීමෙන් අනතුරුවය.

දමිත කුමාරසිංහ
අධ්‍යක්ෂ ජනරාල්