වාරික ක්‍රමයට නව විදුලිබල සම්බන්ධතා ලබාදීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැගේ
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

වාරික ක්‍රමයට නව විදුලිබල සම්බන්ධතා ලබාදීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැගේ
නව විදුලි සම්බන්ධතා සදහා මුළු ගාස්තුව එකවර ගෙවිය නොහැකි පාරිභෝගිකයන් හදුනාගැනීමට සහ ඒ පිරිස් සදහා සහනදායි ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නව රිතියක් ක්‍රියාවට නගා තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් විසින් මේ වසරේ සිට බලාත්මක වන පිරිදි මෙම නව රීති ගැසට් මගින් ප්‍රකාශයට පත්කළේ ය. මේ යටතේ ලංකා විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙතින් නව සම්බන්ධතා ලබාගැනීමේදී වාරික ක්‍රමයට ගෙවීම සදහා අයදුම්කරුවන් ට අවස්ථාව ලැබෙනු ඇත. ඒ අනුව නව සම්බන්ධතා ගාස්තුව වාරික 24කට වැඩි එනම් වසර දෙකකට වඩා වැඩි කාලයකින් ගෙවීමට හැකියාව ලැබේ. එසේම සුදුසුකම් ලත් පාරිභෝගිකයෙක් වාරිකයක් සදහා ගෙවිය යුතු මුදල රුපියල් 1500කට අඩුවිය යුතු බවද නව රීතියෙහි දැක්වේ.
දිවිනැගුම ප්‍රතිලාභීන් සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරන පවුලක මධ්‍යන්‍ය ආදායමෙන් සියයට 50කට වඩා අඩු මාසික ආදායමක් ලබන පිරිස් සදහා මෙම සහනය ක්‍රියාත්මකය. නව ක්‍රමය යටතේ විදුලිබල සම්බන්ධතා ලබාගැනීමට සුදුසුකම් ලැබීම සදහා අයදුම්කරුවන් විසින් සිය ප්‍රදේශීය ලේකම් සහතික කල ආදායම පිළිබද විස්තර හෝ දිවිනැගුම ප්‍රතිලාභියෙක් බවට සනාථ කෙරෙන ලියකියවිලි සිය විදුලිබල සේවා සැපයුම් ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
නව ක්‍රමවේදය පිළිබද වැඩිදුර තොරතුරු 2016 දෙසැම්බර් 23 පල කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයෙහි අඩංගු වේ.