ලංකා විදුලිබල මණ්ඩලය 2013 වර්ෂයේ වියදම් ඇස්තමේන්තු කොමිෂන් සභාවෙහි අනුමැතියට ඉදිරිපත් කරයි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2013 වර්ෂයේ ජාතික විදුලිබල ඉල්ලුම සැපයීම සදහා වන ඇස්තමේන්තුගත වියදම ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර තිබේ. එම වියදම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කෙරිණි. ඉහල යන විදුලිබල ඉල්ලුම සදහා වැයවන අමතර පිරිවැය, විදුලිබල ජනන පිරිවැය, සම්ප්‍රේශණය හා බෙදාහැරීම් පිරිවැය හා අනෙකුත් අදාල වියදම් මෙසේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ගොනු කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි වියදම් ඇස්තමේන්තු ගොනුකිරිමක අරමුණ එම වියදම් පියවීම සදහා අවශ්‍ය වන ආදායම යෝග්‍ය විදුලිබල ගාස්තු සංශෝධනයක් හෝ සහනාධාර මගින් ලබාගැනීම පිළිබද කොමිෂන් සභාවේ අවධානය යොමුකරවීමය.
ලංකා විදුලිබල මණ්ඩලය 2013 වර්ෂය සදහා වියදම් වශයෙන් රුපියල් බිලියන 268ක් ඇස්තමේන්තු කර ඇත. කොමිෂන් සභාව මෙම වියදම් ඇස්තමේන්තු මේ වන විට අධ්‍යයනය කරමින් සිටී. මෙම අධ්‍යනයේදී අදාල ඇස්තමේන්තු ගත වියදම්වල යෝග්‍යතාවය හා නිරවද්‍යභාවය පිලිබද අවධානය යොමු කෙරේ. විදුලිබල ගාස්තු සංශෝධනයට අදාලව කොමිෂන් සභාව අනුමත ක්‍රමවේදයට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලය වියදම් ඇස්තමේන්තු සකස්කර ඇති දැයි මෙහිදී සොයා බැලේ. අත්‍යවශ්‍ය වියදම් පමණක් ඉඩහැර අදාල ක්‍රමවේදයට අනනුකූල හා අත්‍යවශ්‍ය නොවන වියදම් කපාහැර සංශෝධිත වියදම් ඇස්තමේන්තුවක් කොමිෂන් සභාව විසින් සකස් කරනු ලබයි.
අනතුරුව විදුලිබල ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නම් පමණක් සංශෝධිත වියදම් ඇස්තමේන්තුව මත පදනම්ව ගාස්තු යෝජනාවක් සකස් කර මෙම කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දේ.
විදුලිබල ගාස්තු සංශෝධනයක් සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනුයේ එම යෝජනාව පදනම් කරගෙනය.
ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නම් එහිදී කොමිෂන් සභාව අනුගමනය කරන පියවර පහත දැක්වේ.
• විදුලිබල මණ්ඩලයේ වියදම් ඇස්තමේන්තුව හා ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත්කිරිම සදහා මහජනතාව ඇතුළු අදාල පාර්ශ්වයන්ට ඉඩකඩ ලබාදිමට උපදේශනයක් පැවත්වීම
• මහජන අදහස් හා රාජ්‍ය ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු යෝජනාව අනුමත කිරීම හෝ සංශෝධනය කර අනුමත කිරීම
ඉහත දැක්වු ක්‍රියාමාර්ග පිලිබද අදාල අවශ්ථාවන්හීදි මහජනතාව වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාකරනු ඇත.

2013 ජනවාරි 24
PR002/2013-Tariff-Rev Filing