ලංකා විදුලිබල මණ්ඩලයයේ 2013 ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 33 කින් අඩුකිරිමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් පියවර
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

2013 වර්ෂය සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කළ වියදම පිළිබද අධ්‍යයනයෙන් පසුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම වියදම අඩුකිරිමට තීරණය කලේය. 2013 වර්ෂයේ ජාතික විදුලිබල ඉල්ලුම සැපයීම සදහා රුපියල් බිලියන 268ක් වියදම්වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයෙහි ඇස්තමේන්තුව විය. මෙම වියදම් ඇස්තමේන්තුව අධ්‍යනය කල කොමිෂන් සභාව අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන වියදම් හදුනාගන්නා ලදී. එම වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී කොමිෂන් සභාව විසින් අනුමත ක්‍රමවේදයට අනුව නිවැරැදි ලෙස වියදම් සකස් කර ඇතිදැයි යන්නද සොයා බැලීය. එසේ හදුනාගත් අත්‍යවශ්‍ය නොවන වියදම් අඩුකිරීමට කොමිෂන් සභාව තීරණය කළේය. ඒ අනුව කපාහරින ලද වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 33කි. මෙසේ ඇස්තමේන්තුගත වියදම සංශෝධනය කිරීම එක් අතකින් පාරිභෝගිකයාගේ විදුලිබිලට එක්විමට තිබු පිරිවැයක් ඉවත්කිරීමකි. අනෙක් අතින් රජය විසින් විදුලිබල මණ්ඩලයේ සහනාධාර ලෙස දැරිය යුතු අමතර වියදම අඩුකිරීමකි. විදුලිබල ගාස්තු සංශෝධනයක් අවශ්‍ය වේ නම් ලංකා විදුලිබල මණ්ඩලය සිය ගාස්තු යෝජනා සකස් කල යුතු වන්නේ කොමිෂන් සභාව විසින් සංශෝධනය කල මෙම වියදමට යටත්වය. එසේම එම ගාස්තු සංශෝධනය සදහා කොමිෂන් සභාවේ අනුමැතියද අවශ්‍ය වේ.
මෙහිදී කපාහැරුණු වියදම් අතරට ඇතුලත් වන්නේ පහත සදහන් අයිතම යටතේ ඇතුළත් කර තිබු තාර්කික නොවන වියදම් හා ඉතිරිකිරීම් වේ.
• ගිවිසුම් අවසන් වු ඇතැම් පුද්ගලික බලාගාරවලින් විදුලිබලය මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සදහා ඒවායෙන් විදුලිය මිලදි ගැනීමට වෙන් කළ වියදම් (ගිවිසුම් අවසන් වු බලාගාරවලින් සපයාගැනීමට අපේක්ෂිත ධාරිතාවය විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාරවලින් ලබාගැනීමට හැකි බව කොමිෂන් සභාවේ ස්ථාවරයයි)
• 2013 ජනවාරි මාසයේ ජල විදුලිබලාගාර වල උත්පාදන තත්වය අනුව මේ වසරේ ජල විදුලිබලාගාර වලින් දායක කෙරෙන විදුලිබල ධාරිතාවය මුල් ඇස්තමේන්තුවට වඩා වැඩි වන අතර එම අමතර ජලවිදුලිබල ධාරිතාවය හේතුවෙන් කෙරෙන ඉතිරිකිරීම්

ඉහත ආකාරයන් තුලින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 22ක වියදමක් ඉතිරි කර ගැනීමට හැකි බව කොමිෂන් සභාවේ ඇස්තමේන්තුවයි

ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන වියදම් හදුනාගැනීම හරහා රුපියල් බිලියන 5ක් පමණ අඩුකිරීමට හැකි විය. එසේම විදුලිබල සැපයුමට අදාල නොවන වියදම් වශයෙන් හදුනාගත් රුපියල් බිලියන 6ක් ද විදුලිබල මණ්ඩලයේ ඇස්තමේන්තුගත වියදමින් අඩුකරන ලදී.

ඇස්තමේන්තු වියදම් සංශෝධනයෙන් අනතුරුව සංශෝධිත වියදම මත පදනම්ව විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන යෝජනාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළහැකිය.
විදුලිබල ගාස්තු සංශෝධනයක් අවශ්‍යනම් ඒ සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනුයේ එම යෝජනාව පදනම් කරගෙනය.
ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නම් එහිදී කොමිෂන් සභාව අනුගමනය කරන පියවර පහත දැක්වේ.
• විදුලිබල මණ්ඩලයේ වියදම් ඇස්තමේන්තුව හා ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත්කිරිම සදහා මහජනතාව ඇතුළු අදාල පාර්ශ්වයන්ට ඉඩකඩ ලබාදිමට උපදේශනයක් පැවත්වීම
• මහජන අදහස් හා රාජ්‍ය ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු යෝජනාව අනුමත කිරීම හෝ සංශෝධනය කර අනුමත කිරීම
ඉහත සියලු අවශ්ථාවන්හිදී මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට කොමිෂන් සභාව පියවර ගනු ඇත.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව