මාධ්‍ය නිවේදනය-පාරිභෝගික වන්දි ක්‍රමයක් හා විදුලිය අඛණ්ඩව සැපයීම තහවුරු කිරීමට නව රෙගුලාසි
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

මාධ්‍ය නිවේදනය
පාරිභෝගික වන්දි ක්‍රමයක් හා විදුලිය අඛණ්ඩව සැපයීම තහවුරු කිරීමට නව රෙගුලාසි
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ කල නව රෙගුලාසි 4ක් සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ. මෙම රෙගුලාසි පසුගිය ජුලි මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලදී. ඉදිරියේදී එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ය.
මෙම රෙගුලාසි මගින් විදුලිබල සේවාවෙහි ගුණාත්මක තත්වය හා කාර්යක්ෂමතාවය ඉහල නැංවීම, පාරිභෝගිකයින්ට වන්දි ගෙවීම හා විදුලිබල සංරක්ෂණය යන අරමුණු ලගා කරගැනීමට අපේක්ෂිත ය.
• බෙදාහැරීමේ කාර්යසාධන ප්‍රමිති පිළිබද රෙගුලාසි
• සම්ප්‍රේශණ කාර්යසාධන ප්‍රමිති පිළිබද රෙගුලාසි
• විදුලිබල ආරක්ෂාව ගුණාත්මක බව සහ අඛණ්ඩභාවය පිළිබද රෙගුලාසි
• ඉල්ලුම් පාර්ශ්ව කළමණාකරන රෙගුලාසි
බෙදාහැරීම් කාර්යසාධන රෙගුලාසි මගින් ගුණාත්මක විදුලිබල සැපයුමක් තහවුරුකිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන සළසා ඇත. ගුණාත්මක හා කාර්යක්ෂම විදුලිබල සැපයුමක් තහවුරු කිරීම සදහා බෙදාහැරීම් බලපත්‍රලාභීන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම ගත යුතු ක්‍රියාමාර්ග එහි දැක් වේ. ප්‍රමිතියට හා ඉලක්කවලට අනුකූල ලෙස විදුලිබල සැපයුම පවත්වාගෙන යාමට නොහැකි වන අවස්ථාවලදී පාරිභෝගිකයාට සහන සැළසීමේ යාන්ත්‍රණයක් මෙම රෙගුලාසි මගින් ක්‍රියාත්මක කෙරේ. එවැනි අවස්ථාවලදී ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සදහා අනුමත කල වියදම් එළඹෙන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනයේදී අඩුකිරීම මගින් සමස්ත විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම සදහා සැළසුම් කර ඇත. එමෙන් ම ගුණාත්මක විදුලිබල සේවාවක් සැපයීමට අපොහොසත් වන අවස්ථාවලදී බලපෑමට ලක්වන පාරිභෝගිකයින්ට ඝෘජු වන්දි ගෙවීමේ ක්‍රමයක් ද ක්‍රියාවට නැගේ. මෙම වන්දි ගෙවීමේ ක්‍රමවේද ඉදිරි වසර තුන තුලදී සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සළසා ඇත.
විදුලිබල සේවාවේ දෝෂ හේතුවෙන් පාරිභෝගිකයාගේ විදුලි උපකරණවලට සිදුවන හානි සදහා වන්දිගෙවීමේ ක්‍රමයක් ද බෙදාහැරීමේ කාර්යසාධන රෙගුලාසි වලට ඇතුළත්ය. එවැනි හානි සිදුවු විට ඒ පිළිබද පරීක්ෂාකිරීම සදහා විධිමත් හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් මේ මගින් හදුන්වා දී ඇත. විදුලිබල සේවාව ගුණාත්මක තත්වය තහවුරු කිරීම ද මේ මගින් අපේක්ෂා කරනවා. විදුලිබල සේවාවේ වාණිජ්‍යම ගුණාත්මක තත්වය නැංවීම සදහා නව පියවර හදුන්වා දී තිබේ. ඒ අනුව නව සම්බන්ධතා ලබාදීම, පාරිභෝගික අවශ්‍යතා සදහා කඩිනමින් පියවර ගැනීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට ඉලක්ක ලබා දී ඇත. අනිසි ප්‍රමාදයන් සදහා පාරිභෝගිකයින්ට වන්දී ගෙවීමට මේ ආයතන වලට සිදු වනු ඇත. මෙම රෙගුලාසි ක්‍රියාවට නැගීමෙන් අනතුරුව ඉදිරි වසර කිහිපය තුලදී විදුලිබල සේවාවේ ඉහල ගුණාත්මක තත්වයක් ඇති වන බව තහවුරු වේ.