මහජන උපදේශනය- ලිහිසිතෙල් වෙළඳපොළ
බදාදා, 7 නොවැම්බර් 2018 |

චලනය වන පෘෂ්ඨ දෙකක් අතර ඇතිවන ඝර්ෂණය සහ ගෙවීයාම අඩුකිරීම මෙන්ම ක්‍රියාකාරී උෂ්ණත්වයන් අවම කිරීම, ලෝහ මතුපිට විඛාදනය අවම කිරීම හා දූෂණ කාරකවලින් වළකාලීම සඳහා ප්‍රධාන වශයෙන් ලිහිසිතෙල් යොදා ගනු ලබයි. ඛනිජ තෙල්වලින් ලබාගන්නා හෝ මෝටර්රථ, කර්මාන්ත සහ සමුද්‍රික භාවිතයන් සඳහා හෝ රසායනික සංයෝගවලින් සංස්ලේෂණය කරගනු ලබන ලිහිසිතෙල් සහ ග්‍රීස් වලින් ලිහිසිතෙල් වෙළඳපල සමන්විත වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ උපදෙස් හා සහාය ඇතිව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ එය නියාමනය කරනු ලැබේ.

දැනට වෙළඳපොළ ලිහිල් කර ඇති නමුත් 2006/2007 වසරේ අවසන් වරට සිදුකරන ලද තෝරාගැනීමේ ක්‍රියාවලියකින් සුදුසුකම් ලත් පාර්ශ්වයන්ට පමණක් ලබා දී ඇති ලිහිසි තෙල් ආනයනය කිරීම, අපනයනය කිරීම, මිශ්‍ර කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම, සැපයීම හෝ අළෙවිය සඳහා අවසරයක් අවශ්‍ය වේ. වර්තමානයේ පාර්ශ්වයන් දහතුනක් (13) ක් සහ වෙළෙඳ නාම විසිදෙකක් (22) සඳහා අවසරය ලබා දී ඇති අතර, අවසරලත් පාර්ශ්වයන් සහ අදාළ වෙළඳනාම මෙන්ම 2016 වසරේ වෙළඳපල කොටස සඳහන් ලැයිස්තුවක් අමුණා ඇත. ආනයනය කරන ලද සහ දේශීය නිෂ්පාදිත ලිහිසි තෙල් අතර තීරු බදු වෙනස්කමක් පවතින අතර, එය ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් අතර ගැටුමක් බවට පත්ව ඇත. විශේෂයෙන් ම වෙළඳපල හවුල්කරුවන් විසින් ආනයනය කරනු නොලබන මූලික වශයෙන් ස්වකීය භාවිතය පිණිසවන විශේෂිත ලිහිසි තෙල් ආනයනය කිරීම සඳහා ද අවසර ප්‍රදානය කරනු ලබයි.

Original Equipment Manufacturers (OEM)/මූලික උපකරණ නිෂ්පාදකයින් විසින් භාවිතා කිරීමට අවශ්‍ය ලිහිසි තෙල්වල ගුණාත්මකභාවය නිර්දේශ කරයි. ගැසොලින් (පෙට්‍රල්) එන්ජින්, ඩීසල් එන්ජින්, සිව්- පහර යතුරුපැදි, ද්වි -පහර යතුරුපැදි එන්ජින්, ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ සහ ගියර් බොක්ස් සඳහා ලිහිසිතෙල් වෙන් වෙන් වශයෙන් සකස් කරනු ලබයි. ඔබේ වාහනය සඳහා අවශ්‍ය ලිහිසි තෙල්වල ගුණාත්මකභාවය හිමිකරුගේ අත්පොතෙන් හෝ OEM දේශීය නියෝජිතයාගෙන් හෝ අන්තර්ජාලයෙන් ලබාගත හැකිය. ප්‍රමිතීන්, ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනය, ජපන් මෝටර් රථ ප්‍රමිති සංවිධානය වැනි ආයතන වල වර්ගීකරණයන් භාවිතයෙන් ප්‍රමිතීන් දක්වනු ලැබේ.

භාවිතය අතරතුර ලිහිසිතෙල් අවක්‍රමණය වන අතර OEM විසින් නිර්දේශිත පරිදි කලින් කලට මාරුකිරීම කළ යුතුය. එසේ භාවිතා කළ ලිහිසි තෙල් පරිසරයට හානියක් සිදු නොවන පරිදි බැහැර කළ යුතු අතර, මූලික ගුණ නොමැතිවීම සහ එන්ජිමට හානි සිදුවිය හැකි බැවින් නිසි ලෙස ප්‍රතිස්ථාපනය නොකළහොත් නැවත භාවිතා නොකළ යුතුය. කළවම් කිරීමෙන් තත්ත්වය බාලකළ ලිහිසිතෙල් මෙන්ම අනවසර ලිහිසි තෙල් වර්ග ද වෙළඳපල තුල පවතී. කෙසේ වෙතත්, නිවැරදි තෝරාගැනීම සහ බාල ප්‍රමිතියෙන් යුතු ලිහිසි තෙල් පිළිබඳ නොදැනුවත්භාවය නිසා පාරිභෝගිකයින් අඩු මිලට ලිහිසි තෙල් ලබාගැනීමට හෝ සේවා ස්ථානයට ඒ පිළිබඳ පූර්ණ අභිමතය ලබාදීමට හේතු වනු ඇත. මුළුමණින්ම ඉතා ඉක්මණින් දැනගත හැකි බාල ප්‍රමිතියේ ඉන්ධන මෙන් නොව ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් භාවිතා කිරීමේ බලපෑම දැනගැනීමට හැකිවන්නේ එන්ජිමට විශාල හානියක් සිදු වී වසර ගණනාවකට පසුව පමණි.

කෙසේවෙතත්, නියාමකයක් නොමැති විට, ගුණාත්මක ප්‍රමිති බලාත්මක කිරීම හා පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී හා ස්වාධීන යාන්ත්‍රණයක් නොපවතී.