බාල වර්ගයේ ලිහිසි තෙල් නිෂ්පාදන සොයා දිවයින පුරා වැටලීම්
සිකුරාදා, 28 පෙබරවාරි 2020 |

‍ශ්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක්කිරීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව ලිහිසි තෙල් වෙළෙඳපොළ ඡායාමාත්‍ර නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු දීප ව්‍යාප්තව සිදු කරනු ඇත.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අංශයේ අනුමත සමාගම් 13 ක් මගින් වෙළෙඳ සන්නාමයන් 22 ක් යටතේ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සිදු කිරීමට නෛතික අවසරය ලැබී ඇත.

නමුත්, අද වන විට වෙනත් විවිධ ආයතන සහ වෙළෙඳ සන්නාමයන් යටතේ ලිහිසි තෙල් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර ඇත. මේවා ගුණාත්මක බවින් තොර ඉතා බාල තත්වයේ  නිෂ්පාදන  වන අතර මෙම නිෂ්පාදන භාවිතා කිරීම නිසා කෙටි කලකින් රථ වාහන එන්ජින් වල දෝෂ හට ගැනීම හේතුවෙන් අමතර කොටස් ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් ද වැය වේ. නිරන්තරයෙන් රථ වාහනවල හට ගන්නා මෙම කාර්මික දෝෂ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අපහසුතාවට ද පත් වේ. එමෙන්ම, මෙම නීති විරෝධී වෙළෙඳපොළ ප‍්‍රසාරණය නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදලක්ද අහිමි වී ඇත.

ඊයේ දින (17* පමණක් සිදු කළ වැටලීම් 15 කින් නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන විශාල තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිළධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදු කරනු ලැබී ය.

වැඩිදුර විස්තර සඳහා 0772943193 දුරකථන අංකය අමතන්න. ජයනාත් හේරත්, අධ්‍යක්‍ෂ, ආයතනික සන්නවේදන, ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව.


මෙවැනි කූට වෙළෙඳුන් හා වෙළෙඳපොලේ ඇති ප‍්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් නිෂ්පාදන පිලිබඳ ඔබ දන්නා තොරතුරු පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත ලබා දෙන්න. ක්‍ෂණික ඇමතුම් අංකය – 1977, පාරිභෝගික පැමිණිලි අංශය – 0117755481-3.
සභාපති – පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය