ප්‍රවෘත්ති නිවේදනය- විදුලි කාර්මික වෘත්තීයට ජාතික පිළිගැනීම ලබාදීමේ වැඩපිළිවෙලක්
බ්‍රහස්පතින්දා, 8 මාර්තු 2018 |

විදුලි කාර්මික වෘත්තීයට ජාතික පිළිගැනීම ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගෙයි-යෝජිත වැඩපිළිවෙල සහා මහජන අදහස් ලබාගැනීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගනී

සියළුම විදුලි කාර්මිකයින් සදහා ජාතික වෘත්තීමය සුදුසුකම හා පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් සකස් කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තවත් ආයතන ගණනාවක් එක්ව සකස් කර ඇති මේ වැඩසටහන මගින් වෘත්තීමය සංවර්ධනයට අවශ්‍ය ආයතනික රාමුවක් සකසා සියළුම විදුලි කාර්මිකයින් පිළිගත් වෘත්තිකයින් බවට පත් කිරීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම මේ වැඩපිළිවෙල සකස් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දායක වේ.

විදුලි සැර වැදීම් අනතුරුවලින් සියයට 55ක් සිදුවන්නේ නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතිවල දෝෂයන් හේතු වෙන් බව අනාවරණය වී තබේ. නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති වල ප්‍රමිතිය සම්මත තත්වයක නොපැවතීම මීට හේතුවකි. අභ්‍යන්තර රැහැන් පද්ධතිවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිතියෙන් යුත් විදුලි කාර්මිකයින් පිරිසක් රටට අවශ්‍ය වේ. එසේම දැනටමත් හදුන්වා දී ඇති විදුලි පේනු හා කෙවෙනි පිළිබද ජාතික ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට ඒ පිළිබද කාර්මිකයින් දැනුවත් විය යුතුය. ඒ හැරුනු විට විදුලි කාර්මික වෘත්තියෙහි නියැලි පිරිස් වලට ඒ ක්ෂේත්‍රෙයහි ඉදිරියට යාමට පැහැදිලි වෘත්තීය මාර්ගයක් අවශ්‍ය වේ. මේ කරුණු සැළකිල්ලට ගෙන විදුලි කාර්මිකයින් සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන සභාව පියවර ගෙන තිබේ.

යෝජිත වෘත්තීය පිළිගැනීම ලබාදීමෙන් පසුව මෙරට සියලුම විදුලි කාර්මිකයින්ට  (ඇම්පියර් 30 එකලා) අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති සැළසුම්කිරීම, රැහැන් ඇදීම, එම පද්ධති පරීක්ෂා කර සහතික නිකුත්කිරීමේ බලය ලැබෙනු ඇත. ඔවුන් නිකුත් කරන පරීක්ෂාකිරීමේ සහතික ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් පිළිගන්නු ලැබේ. ඇම්පියර් 30 සිට 60 දක්වා වු තෙකලා අභ්‍යන්තර විදුලි පද්ධති වල රැහැන් ඇදීමටත් එම පද්ධති පරීක්ෂා කර සහතික කිරීමේ බලයත් බලපත්‍රලාභී විදුලිකාර්මිකයින්ට හිමි වේ. එවැනි පද්ධති සැළසුම් කිරීම වරලත් ඉංජිනේරුවරයෙකු විසින් කළ යුතු බවට යෝජිත යාන්ත්‍රණයෙහි දැක්වේ. යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වනුයේ සියළුම විදුලි කාර්මිකයින්ට සිය වෘත්තීය කරගෙන යාමට හැකි වන පරිදි බලපත්‍රයක් නිකුත් කිරීමයි. එම බලපත්‍රය අවුරුදු 3ක කාලයක් සඳහා වලංගු වන අතර ඒ කාලය තුලදී එන් වී කියු හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටම ලබාගැනීමට විදුලි කාර්මිකයින්ට අවශ්‍ය පහසුකම් සලසනු ලැබේ. එන් වී කියු මට්ටම ලබාගත් විට විදුලි කාර්මික ස්ථිර බලපත්‍රය නිකුත් කරනු ලැබේ. සුදුසුකම් පරීක්ෂාකිරීමේ විද්වත් වෘත්තික මණ්ඩල පිහිටුවා ඇති අතර දිවයිනේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයන්හිදි බලපත්‍ර පිරිනැමීම සඳහා වෘත්තීය පරීක්ෂණ පවත්වනු ලැබේ.

යෝජිත යාන්ත්‍රණයෙහි තවත් විශේෂත්වයක් වනුයේ විදුලි කාර්මිකයින්ට සිය වෘත්තීයෙහි ඉදිරියට යාමට හැකිවන පරිදි විදුලි කාර්මික ක්ෂේත්‍රෙයට පිළිගත් ශ්‍රේණි හඳුන්වාදීමයි. ඒ අනුව ආධුනිකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන අයෙකුට, කණිෂ්ඨ විදුලි කාර්මික, ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික,  ප්‍රධාන විදුලිකාර්මික හා බාහිර විදුලි පද්ධති කාර්මික යන ශ්‍රේණි සඳහා පිවිසීමට අවස්ථාව හිමි වේ.

විදුලි කාර්මිකයින්ට පිළිගත් වෘත්තීය බලපත්‍රයක් නිකුත්කිරීමේ යෝජිත වැඩසටහන තවදුරටත් වැඩි දියුණු කිරීම සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, කර්මාන්තකරුවන් සහ මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම යෝජිත යාන්ත්‍රණය පිළිබද අදහස් හා යෝජනා 2018 මාර්තු 21 වැනි දිනට පෙර එවිය යුතු වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා බැංකු වෙළද කුළුණ. කොළඹ 3 යන ලිපිනයට හෝ consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනයට මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි ය. විදුලි කාර්මික වෘත්තිය උසස් කිරීමට අදාල මහජන උපදේශනයෙහි වාචික අදහස් දැක්වීමේ අවස්ථාව මාර්තු 22 වැනි දින කොළඹ පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්වෙන අතර උනන්දුවක් දක්වන සියළු දෙනාට සහභාගි විය හැකි වේ.

මෙම මහජන උපදේශනයේදී ඉදිරිපත් වන අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන විදුලි කාර්මිකයින්ට වෘත්තීය පිළිගැනීම ලබාදීමේ වැඩසටහන වැඩිදියුණු කරන අතර නව වැඩසටහන මේ වර්ෂය තුලදී ක්‍රියාවට නැගීමට නියමිත ය.

මේ පිළිබද වැඩිදුර විස්තර සඳහා ජයනාත් හේරත් (0772943193) අමතන්න