ප්‍රවෘත්ති නිවේදනය : ඉදිරි 20 වසර සදහා නව විදුලි ජනන සැළැස්මට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරනය ලබාගන්න

ඉදිරි වසර 20ක කාලය සදහා ඉහල යන විදුලි ඉල්ලුම සපුරාලීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබු සැළැසුම් වලින් වඩා අවම පිරිවැයක් සහිත සැළැස්ම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙගා වොට් 4800 කින් යුත් ස්වභාවික වායු බලාගාර, මෙගා වොට් 457ක ධාරිතාවයකින් යුත් ජල බලාගාර, මෙගා වොට් 1389ක ධාරිතාවයක් සහිත සුර්යතාප බලාගාර, මෙගාවොට් 1205 ක ධාරිතාවයක් සහිත සුළං බලාගාර, මෙගාවොට් 85ක ජෛව ස්කන්ධ බලාගාර, මෙගාවොට් 330 ක ධාරිතාවයකින් යුත් දැවිතෙල් බලාගාර සහ මෙගාවොට් 105ක ධාරිතාවයකින් යුත් ගෑස් ටර්බයින් බලාගාර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත ය. ඉදිරි වසර 20 තුලදී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත ය.

ඉදිරි 20 වසරක කාලය තුල වාර්ෂිකව විදුලිබල ඉල්ලුම සියයට 5කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ ඉහල යන විදුලිබල ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි ජනන ධාරිතාවය ගොඩනැගීමට මෙම සැළැසුම මගින් හැකියාව ලැබේ. ඒ අනුව අනුමත බලාගාර කඩිනමින් ඉදිකිරීම සදහා පියවර ගත යුතු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධාරනය කර තිබේ.

මෙම විදුලිබල සැළැස්ම අනුමත කිරීමට පෙර ඒ සදහා මහජන අදහස් ලබාගැනීමද විශේෂත්වයකි. යෝජිත විදුලිබල සැළසුම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්, පරිසරවේදීන්, පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින්, අර්ථශාස්ත්‍රඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් යෝජනා හා අදහස් රාශියක් ඉදිරිපත් කර තිබිණි. අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාද සැළකිල්ලට ගන්නා ලදී.