ප්‍රවෘත්ති නිවේදනය- අනාගත විදුලි ඉල්ලුම සපුරාලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නිර්දේශ
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

අනුමත දිගුකාලීන විදුලි ජනන සැළසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විදුලි සැපයුමේ වියදම ඉහලයාම, විදුලිය ඇනහටීම් සහ සැළසුමෙන් බාහිර විදුලිය මිලදී ගැනීම් ආදී ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කළ නව අධ්‍යයන වාර්තාවක දැක් වේ. වසර 2020 සිට එළඹෙන කාලය සදහා විදුලිබල සැපයුම පිළිබද කල මෙම අධ්‍යයන වාර්තාවට අනුව මෙම තත්වයන් පාලනය සදහා නිසි කලට අනුමත විදුලි බලාගාර ඉදිකර ක්‍රියාත්මක කල යුතු වේ.
2006 සිට 2016 දක්වා කාලය තුල බලාගාර ඉදිකිරීම හා විදුලිය මිලදී ගැනීම, ජනන සැළසුම් සදහා පාදක කරගත් ඉල්ලුම් ඇස්තමේන්තු ආදිය කෙරෙහි මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කර තිබේ. වාර්ෂිකව ඉහල යන විදුලිබල ඉල්ලුම සපුරාලමින් බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ ලගාකරගැනීම සදහා කෙටිකාලීන, මැදකාලීන හා දිගුකාලීන නිර්දේශ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කල වාර්තාවෙහි සදහන් ය.

වත්මන් විදුලි ඉල්ලුම සහ එම ඉල්ලුම සපුරාලන සැබෑ තත්වය පසුගිය ජනන සැළසුම් වලින් නිර්දේශිත තත්වයට වඩා වෙනස් බව හදුනාගෙන තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත විදුලිය මිලදී ගැනීම්, විදුලිය සැපයෙන බලාගාර සම්මිශ්‍රණයෙහි වෙනස්කම් හේතුවෙන් විදුලි ඒකකයක පිරිවැය ඇස්තමේන්තුගත වියදමට වඩා ඉහල ගොස් ඇති බව පෙනේ. 2016 වර්ෂයේදී ඉන්ධන (තාප) භාවිතවන බලාගාරවලින් විදුලිය සැපයීම් 6 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඉදිරියේදී මෙවැනි තත්වයක් මග හැරවීම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් නිකුත් කල වාර්තාවේ දැක්වේ.
විදුලිබල සැපයුම පිළිබද මෙම අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

වැඩිදුර තොරතුරු සදහා:
ජයනාත් හේරත්
අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන
077 2 943 193