නොරොච්චෝලේ බලාගාරය බිදවැටීම පිළිබද විමර්ශනය සදහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කෙරේ.
බ්‍රහස්පතින්දා, 19 ජූලි 2018 |

මෑතකදී සිදු වු නොරොච්චෝලේ බලාගාරයේ බිදවැටීම පිළිබද විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ විමර්ශන කමිටුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පත් කරන ලදී.
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සිබ්ලි අෂිෂ් මහතා එම කමිටුවේ සභාපති වරයා වශයෙන් පත් කර තිබේ. එහි අනෙක් සාමාජිකයින් දෙදෙනා වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ආර් අයි සේනාරත්න මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා මහතා පත් කරනු ලැබ ඇත.
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පත් කල මෙම විමර්ශන කමිටුවට පහත සදහන් කාර්ය භාරය පැවරී තිබේ.
• නොරොච්චෝලේ බලාගාරය බිදවැටීමට හේතු වු කරුණු සොයාගැනීම සදහා අදාල වන තාක්ෂණික හා තාක්ෂණික නොවන සාක්ෂි/තොරතුරු/දත්ත පිළිබද විමර්ශනය කිරීම
• විදුලිබලාගාරය බිදවැටීමට හේතු වු කරුණු විභාගකිරීම
• නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිදු වු බිදවැටීම වැළැක්විය හැකිව තිබුණාදැයි විශ්ලේෂණය කිරීම
• අනාගතයේදී එවැනි බිදවැටීම් වලින් තොරව විදුලිබලාගාරයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා නිර්දේශ හා උපදෙස් ඉදිරිපත් කිරීම
2016 ඔක්තෝබර් මස 15 වැනි දින පෙරවරු 11ට නොරොච්චෝලේ බලාගාරය බිදවැටුණු අතර ඒ හේතුවෙන් දෛනිකව පැය 1 ½ක විදුලි කප්පාදුවක් සිදු විය.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් තහවුරුකිරීමේ වගකීම විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති අතර ප්‍රධාන විදුලි බලාගාරයක සිදුවන අනපේක්ෂිත බිද වැටීම් එසේ අඛණ්ඩ විදුලිබල සැපයුමක් පවත්වාගෙන යාමට බාධාවක් වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පත් කල විමර්ශන කමිටුව මගින් නොරොච්චෝලේ බලාගාරයේ සිදු වු බිද වැටීමට හේතු සහ එවැනි බිදවැටීම් වැළැක්වීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.