Press Release – Electricity Tariff Revision 2025
Wed, 11 Dec 2024 |

ප්‍රවෘත්ති නිවේදනය

  • යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපදේශනය දෙසැම්බර් 17 දින සිට
  • ලිඛිත අදහස් බාර ගැනීම 2025 ජනවාරි 8 දක්වා
  • වාචික අදහස් දැක්වීම් සැසි 9ක්
  • අවසන් තීරණය ජනවාරි 17

2025 ජනවාරි සිට ජුනි දක්වා ම‍ාස 6ක කාලය සදහා ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද මහජන අදහස් විමසීම 2024 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා සභාව නිවේදනය කරයි. ලංවිම ඉදිරිපත් කල විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සහ ඒ පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලය කල සමාලෝචනයෙන් අනතුරුව සකස් කල ප්‍රතියෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමට මෙම මහජන උපදේශනයේදී අවස්ථාව ලැබේ. 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 (ආ) වගන්තිය,  2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ විදුලි ගාස්තු ක්‍රමවේදයට (මිල සුත්‍රය) අනුකූලව මෙම මහජන උපදේශනය පැවත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ මුල් මාස 6 සදහා ඉදිරිපත් කර ඇති සංශෝධනයෙන් පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. ලංවිම යෝජනාව මෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශ(ප්‍රතියෝජනාව) පිළිබද මහජන අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකිය.

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනාද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව 2025 මුල් මාස 6 සදහා බලාත්මක වන විදුලිගාස්තු පිළිබද අවසන් තීරණය 2025 ජනවාරි 17 වැනි දින ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ජනවාරි 8 වැනි දිනට පෙර පහත සදහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කල හැකිය.

ඊමේල් info@pucsl.gov.lk
වට්ස්ඇප් 076 427 1030
ෆේස්බුක් www.facebook.com/pucsl
තැපෑලෙන් විදුලිගාස්තු පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, කොළඹ 3

 

විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමට පහසුකම් සැළසීම සදහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය පැවත්වේ. පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් සැසි පහත පරිදි පැවත්වේ.

  පළාත ස්ථානය දිනය
1 මධ්‍යම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මහනුවර 2024 දෙසැම්බර් 27
2 ඌව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මොනරාගල 2024 දෙසැම්බර් 30
3 සබරගමුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, රත්නපුර 2025 ජනවාරි 3
4 දකුණු පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, මාතර 2025 ජනවාරි 4
5 වයඹ පළාත වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාව, කුරුණෑගල 2025 ජනවාරි 4
6 උතුරු මැද පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, අනුරාධපුර 2025 ජනවාරි 5
7 උතුරු පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, යාපනය 2025 ජනවාරි 6
8 නැගෙනහිර පළාත දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය, අම්පාර 2025 ජනවාරි 8
9 බස්නාහිර පළාත බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 2025 ජනවාරි 10

ඉහත මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් සදහා සහභාගි වීම සදහා ලියාපදිංචි වීමට පහත දුරකතන අංක අමතන්න

මහජන උපදේශනය ලියාපදිංචිය සදහා ඇමතිය යුතු දුරකතන අංකය
මධ්‍යම, උතුර, නැගෙනහිර පළාත් මහජන උපදේශන 077 039 9119
වයඹ, උතුරු මැද, බස්නාහිර පළාත් මහජන උපදේශන 076 427 1030
දකුණ, සබරගමුව, ඌව පළාත් මහජන උපදේශන 076 322 4610

වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් 077 294 3193 අමතන්න.

 

2024 දෙසැම්බර් 11