Press Release – 30-April-2024
Tue, 30 Apr 2024 |

ප්‍රවෘත්ති නිවේදනය

2024 අප්‍රේල් 30

  • විදුලි කාර්මික වෘත්තියේ ප්‍රමිතිය ඉහල නැංවිම සදහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒ්කාබද්ධ පස් අවුරුදු සැළැස්මක්
  • විදුලිකාර්මික, ජලනල කාර්මික හා ශීතකරණ හා වායුසමීකරණ ශිල්පීන් සදහා වෘත්තීය හැදුනුම්පතක්
  • ඉහත කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ 3 ලබාගැනීමට පහසුකම්

 

විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ඉංජිනේරු වෘත්තියේ ප්‍රමිතිය පිළිබද වගකීම දරන ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව එක්ව විදුලිකාර්මික, ජල නල කාර්මික සහ ශීතකරණ හා වායු සමීකරණ යන වෘත්තීකයින්ගේ ප්‍රමිතිය ඉහල නැංවීම සහ ඉහළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යාම සදහා අද අවබෝධතා ගිවිසුමකට අත්සන් කලා.  ඒ යටතේ විදුලිකාර්මික, ජලනල කාර්මික සහ ශීතකරණ හා වායු සමීකරණ වෘත්තීන් සදහා වෘත්තීය හැදුනුම්පත් ක්‍රමයක් සහ නොමිලේ NVQ 3 පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාවට නැගේ. ඉහත වෘත්තීන් හි නිරත ශිල්පීන්ට නිසි පිළිගැනීම ලබාදීම, ඔවුන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සදහා සක්‍රියව දායක කර ගැනීම, ඉංජිනේරු කාර්මිකයින්ට ව්‍යවසායකයින් වශයෙන් නැගී සීටීමට සහාය වීම සහ ඉංජිනේරු කාර්මිකයින්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයට සහාය වීම මෙම අවබෝධතා මුලික අරමුණු වේ.

 

විදුලිකාර්මික හැදුනුම්පත් ක්‍රමය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර යටතේ NVQ 3 අනිවාර්ය කරන අතර එය ලබන වසරේ සිට බලාත්මක වේ. ඒ අනුව ලබන වසරේ අවසානයේ සිට ඉදිරියට විදුලිකාර්මික වෘත්තියේ නියැලීම සදහා විදුලිකාර්මිකයින් අවම වශයෙන් NVQ 3 සුදුසුකම ලබාගෙන තිබිය යුතු ය. දැනට විදුලිකාර්මික වෘත්තියේ නිරත නමුත් පිළිගත් සහතිකයක් නොමැති සියලු ම විදුලි කාර්මිකයින්ට NVQ 3 නොමිලේ ලබාගැනීමටද ඉඩකඩ සලසා ඇත. මේ වන විට විදුලි කාර්මික ශිල්පීන් 8000ක් පමණ පිළිගත් වෘත්තිකයින් වශයෙන් වෘත්තියෙහි නිරත වීම සදහා අවශ්‍ය වන ජාතික වෘත්තීය සුදුසුකම් ලබාගෙන තිබේ.

 

විදුලි කාර්මික හැදුනුම්පත් ක්‍රමයේ දෙවන අදියර යටතේ 2030 වර්ෂයේ සිට විදුලිකාර්මික වෘත්තියේ නිරත වීම සදහා NVQ 4 අනිවාර්ය වේ. NVQ 4 සුදුසුකම ලබාගන්නා විදුලි කාර්මික ශිල්පීන් ට ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව යටතේ පිළිගත් ඉංජිනේරු කාර්මික ශිල්පීන් වශයෙන් පිළිගැනීම ලබා දීම සදහාද ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සහා පනත යටතේ පියවර ගෙන ඇත.

 

මීට අමතරව ජලනල කාර්මිකයින් සදහා හැදුනුම්පත් ක්‍රමයේ පළමු අදියර 2028 වසරේ ආරම්භ කිරීමටද ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මේ වන විට ජලනල කාර්මික වෘත්තියේ නිරත එහෙත් ජාතික වෘත්තීය සුදුසුකම් නොමැති ශිල්පීන් සදහා නොමිලේ NVQ 3 පිරිනැමීමේ වැඩසටහනක් ද හදුන්වාදී තිබේ.

 

අද අත්සන් කල අව‌බෝධතා ගිවිසුම යටතේ ශීතකරණ හා වායුසමීකරණ ශිල්පීන් සදහා ද වෘත්තීය හැදුනුම්පත් ක්‍රමයක් ක්‍රියාවට නැගේ. එහි පළමු අදියර යටතේ ශීතකරණ හා වායුසමීකරණ ශිල්පයේ නිරත වීම සදහා ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම අනිවාර්ය කෙරේ. දෙවන අදියරේ දී එම වෘත්තීයේ නිරත වීම සදහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම අනිවාර්ය සුදුසුකම ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශීතකරණ හා වායුසමීකරණ ශිල්පීන් සදහා ද නොමිලේ NVQ 3 පිරිනැමීමේ වැඩසටහනක් 2024 වසරේ සිට හදුන්වා දී ඇත. ඒ පරිසර අමාත්‍යංශයේ ජාතික වායු කළමණාකරන හා ඔ්සෝන් ඒකකයේ පුර්ණ අනුග්‍රහය ද ඇති වය.

වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් 077 2 943 193 අමතන්න.