ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනය
Thu, 22 Jan 2026 |

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව එක්ව විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නංවයි-2026 සිට බලාත්මකයි

ශ්‍රී ලංකා විදුලිබල පනත හා ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනත යටතේ විදුලි ආරක්ෂාව සහ ඉංජිනේරු වෘත්තීය ප්‍රමිතිකරණය සදහා විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය මේ වසරේ සිට ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට මෙරට විදුලිබල කර්මාන්තය ප්‍රමිතිකරණය, ආරක්ෂාව හා සේවා තත්වය උසස් කිරීමේ වගකීම ද පැවරී තිබේ. විදුලි බල ජනනය, සම්ප්‍රේශණය හා බෙදාහැරීම යන සමස්ත ක්‍රියාවලියේදී ආරක්ෂාව සහතික කිරීම සදහා රෙගුලාසි, මාර්ගෝපදේශ සහ පටිපාටි සකස් කිරීම හා ක්‍රියාවට නැගීම මෙන්ම නිවාස සහ ගොඩනැගිලි වල අභ්‍යන්තර රැහැන් පද්ධති නිසි ප්‍රමිතියකින් ස්ථාපනය කරනු ලැබීම සහතික කිරීම සදහා ද පියවර ගත යුතු ය. විදුලි ස්ථාපනය, නඩත්තුව හා අළුත්වැඩියාව සිදුකරන විදුලිකාර්මිකයින් ප්‍රමිති ගත කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගත්තේ ඉහත කාර්ය භාරය හා වගකීම ඉටුකිරීම සදහා ය.

ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති ප්‍රකාරව විදුලිබල බෙදාහැරීම් බලපත්‍රලාභීන් (ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම) වෙත නිකුත් කර ඇති සැපයුම් සේවා සංග්‍රහයට අනුව බලපත්‍රලා‍භීන්ගේ පද්ධතිවලට සම්බන්ධ කෙරෙන විදුලි පද්ධති ස්ථාපනය කල යුත්තේ පිළිගත් සුදුසුකම් ලත් විදුලි කාර්මිකයින් විසිනි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් ඉංජිනේරු සභා පනතේ වගන්ති ප්‍රකාරව පිළිගත් විදුලි කාර්මිකයින් සම්බන්ධයෙන් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඊට අනුව 2026 වසරේ සිට 2029 දෙසැම්බර් 31 දක්වා සුදුසුකම් ලත් විදුලිකාර්මිකයින් වශයෙන් පිළිගනු ලබන්නේ අවම වශයෙන් විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (NVQ3) ලබා ඇති විදුලිකාර්මික ශිල්පීන් ය. ඒ අනුව මේ වසරේ සිට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කෙරෙන නිවාස හා ගොඩනැගිලිවල විදුලි රැහැන් පද්ධති ස්ථාපනය කිරීමට සුදුසුකම් ලබන්නේ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් NVQ3 හෝ ඊට ඉහල සුදුසුකම් ඇති විදුලිකාර්මික ශිල්පීන් පමණි. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව 2030 වසරේ සිට සුදුසුකම් ලත් විදුලි කාර්මික ශිල්පීන් ලෙස පිළිගනු ලබන්නේ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් NVQ4 හෝ ඊට ඉහල සුදුසුකම් ඇති කාර්මික ශිල්පීන් පමණි.

දැනට විදුලිකාර්මික වෘත්තියේ නියැලෙන වැඩි පිරිසකට NVQ සුදුසුකම් නොමැති හෙයින් ඔවුන්ට ද පිළිගත් විදුලිකාර්මික ශිල්පීන් වශයෙන් වෘත්තියෙහි නියැලීම සදහා පහසුකම් සැපයීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නගා තිබේ. මේ යටතේ අවම පලපුරුද්ද ඇති විදුලිකාර්මිකයින්ට පෙර දැනුම ඇගයීමේ ක්‍රමය (Recognition of Prior Learning-RPL) මත පදනම්ව කඩිනමින් ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටම (NVQ3) පිරිනැමේ. අවසාන පරීක්ෂණයට පෙර විදුලි කාර්මික ශිල්පය පිළිබද ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම පිළිබද දින දෙකක විශේෂ පුහුණුවක් ලබාදී ඔවුන් විභාගය සදහා සුදානම් කෙරේ. විදුලි කාර්මිකයින්ට NVQ 3 ලබාගැනීම සදහා බාධාවක්ව පැවති විභාග ගාස්තු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දරනු ලබයි. එමෙන්ම විභාගය සදහා පුහුණුව නොමිලේ ලබා දේ. මෙම වැඩසටහන යටතේ විදුලිකාර්මික ශිල්පීන්ට තමන් පදිංචි දිස්ත්‍රික්කයෙහිදීම අදාල පරීක්ෂණය වලට මුහුණ දී නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් නොමිලේ ලබාගැනීමට හැකියි.

 

මෙම වැඩසටහන හේතුවෙන් විදුලිකාර්මිකයින්ට විදුලිබල කර්මාන්තයේ ප්‍රමිතිය නැංවීම සදහා ඝෘජුව දායක විය හැකි අතර සිය වෘත්තීය ජීවිතයේ ප්‍රගමනයක් ද අත් කර ගත හැකියි. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා සහතිකයක් ලබාගැනීම හේතුවෙන් වෘත්තීය විදුලිකාර්මිකයින්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථාද විවර වේ.

මෙම කඩිනම් වැඩසටහන ක්‍රියාවට නැගීම සදහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කාර්මික විද්‍යාල සහ යාපනය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය  සමග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවබෝධතා ගිවිසුම් ක්‍රියාවට නගා ඇත.

වැඩිදුර තොරතුරු සදහා අධ්‍යක්ෂ ආයතනික-සන්නිවේදන ජයනාත් හේරත් 0772943193  අමතන්න