ලෝක වෙළද පොලේ ඉංධන මිල ඉහල යාම හේතුවෙන් 2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනනයට අදාල සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වන දින ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත. මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැගීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල උපදේශන පත්‍රිකාවේ පහත සදහන් කරුණු අඩංගු කර ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සදහා විදුලි ජනන පිරිවැය ඉහල යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිගයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ. මෙම හිගය තුල ගල් අගුරු තත්වය හේතුවෙන් විදුලි ජනනය සදහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැත. සමස්ත හිගයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබා දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.
නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කල විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස්කල විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව අද දින ප්‍රකාශයට පත්කෙර්. එම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියළුම පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකිය. 2026 මැයි 6 වන දින දක්වා ලිඛිත අදහස් හා යෝජනා බාර ගන්නා අතර වාචික අදහස් දැක්වීමේ සැසිය 2026 මැයි 6 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්වේ. අදහස් හා යෝජනා තැපෑලෙන්, ඊමේල්, වට්ස්ඇප් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කල හැකිය. වාචික අදහස් දැක්වීම සදහා පුර්ව ලියාපදිංචිය අවශ්‍ය වන අතර දුරකතන අංක 076 427 1030 අමතා ලියාපදිංචි විය හැකිය. ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු පිළබද අවසන් තීරණය 2026 මැයි 9 වන දින ප්‍රකාශයට පත්කිරීම සදහා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
2026 වසරේ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කල හැකිය.
තැපෑලෙන්:
2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
ශාන්ත මයිකල් පාර
කොළඹ 3
ඊමේල්: consultation@pucsl.gov.lk
ෆැක්ස්: 0112392641
වට්ස්ඇප්: 0764271030
වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 294 3193) අමතන්න.
ඇමුණුම: උපදේශන පත්‍රිකාව සහ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම (NSO) 2026 අප්‍රේල් 27 වන දින ඉදිරිපත් කළ පිරිවැය ඇස්තමේන්තුව – https://www.pucsl.gov.lk/extraordinary-tariff-review-april-2026/