ප්‍රවෘත්ති නිවේදනය – විදුලි ගාස්තු සංශෝධනය (2025 – ඔක්තෝබර්)
Tue, 14 Oct 2025 |

ප්‍රවෘත්ති නිවේදනය

  • විදුලි ගාස්තු ඉහල නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරයි
  • ඉදිරියටත් විදුලි ගාස්තු ස්ථාවරව තබාගැනීමට පියවර
  • පසුගිය කාර්තුවල ලංවිම ලැබු ආදායම් අතිරික්තය පාරිභෝගිකයාට
  • සාධාරණ මිල ගණන් යටතේ විදුලි ජනනයට ඉංධන මිලදීගැනීම සදහා ලංවිමට බලාත්මක කිරීමේ නියෝගයක්
  • වසරකට සිව් වරක් ගාස්තු සංශෝධනය කිරීම තාර්කික නොවන බවට කොමිෂන් සභාව නැවතත් අවධාරණය කරයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2025 අගෝස්තු 27 වන දිනැති යෝජනාව මගින් 2025 අවසන් කාර්තුවේදී රු. බිලියන 7.7ක ආදායම් හිගයක් ඇති වන නිසා එම හිගය පියවා ගැනීමට සියයට 6.8කින් විදුලි ගාස්තු ඉහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබිණ.  අනතුරුව ලංවිම විසින් 2025 සැප් 30 සහ ඔක්තෝබර් 01 දිනැති ලිපි මගින් 2025 අවසන් කාර්තුව තුලදී හිගය රු. බිලියන 20.8 දක්වා ඉහල යන බවට සංශෝධනයක් ඉදිරිපත්කර තිබිණ.

ලංවිම ඉදිරිපත් කල විදුලිගාස්තු සංශෝධන යෝජනාව පිළිබද කාර්ය මණ්ඩල විශ්ලේෂණ සහ මහජන උපදේශන වලින් අනතුරුව ගාස්තු ඉහල නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කලේ ය. ඒ අනුව දැනට බලාත්මක විදුලි ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඊළග ගාස්තු සංශෝධනය දක්වා ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ. 2024 හා 2025 යන වර්ෂ වලදී මේ දක්වා විදුලි ගාස්තු සංශෝධන 5ක් ක්‍රියාවට නගා ඇත. වත්මන් විදුලි ගාස්තු 2024 ජනවාරි මාසයේ දී පැවති විදුලි ගාස්තු සමග සන්සන්ධනය කරන විට සියයට 44කින් විදුලි ගාස්තු අඩු වී ඇත. පසුගිය විදුලි ගාස්තු සංශෝධන පිළිබද සාරාංශය පහත දක්වා ඇත.

සංශෝධිත දිනය අනුමත ප්‍රතිශතය ලංවිම යෝජනා කල ප්‍රතිශතය
March 05, 2024 -21.9% -3.0%
July 15, 2024 -22.5% -14.0%
January 17, 2025 -20.0% 0.0%
June 12, 2025 15.0% 18.3%

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන උපදේශනයක් හරහා විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ලිඛිතව හා වාචිකව අදහස් ලබාගන්නා ලදී. පළාත් 9ම ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීමේ සැසි 9ක් පැවත්වු අතර සමස්ත මහජන උපදේශනය සදහා ලිඛිතව හා වාචිකව අදහස් හා යෝජනා ලබාදීමට 500කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් විය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අවසන් තීරණය ගැනීමේදී මහජන උපදේශනයේදී ඉදිරිපත් වු සියළු සාධනීය යෝජනාද සැළකිල්ලට ගන්නා ලදී. විදුලි අයක්‍රම ක්‍රමවේදය (විදුලි මිල සුත්‍රය) මත පදනම්ව කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ගනු ලැබේ.

 

ඒ අනුව 2025 අවසන් කාර්තුව සදහා ලංවිම විසින් ඉදිරිපත් කල විදුලි ජනනය හා බෙදාහැරීමට අදාල වියදම් වලින් අකාර්යක්ෂම වියදම් කපා හැරීමට කොමිෂන් සභාව තිරණය කලේය. ඉන් අනතුරුව ඇතිවන හිගය පියවීම සදහා 2024 අවසන් කාර්තුවේදී හා 2025 මුල් කාර්තු 2ක තුලදී ලංවිම ලැබු අතිරික්තයෙන් රු. මිලියන 8,487ක් ගැලපීම සදහා කොමිෂන් සභාව තීරණය කලේය. 2025 මුල් කාර්තුවේදී ලංවිම රු. මිලියන 22,875ක ලාභයක් ලබා ඇති අතර ඉදිරියේදී විදුලි ගාස්තු ස්ථාවරව තබාගැනීම සදහා එම අතිරික්තයෙන් 1/3ක් පමණක්(රු මි. 8,487) 2025 අවසන් කාර්තුව සදහා ගැලපීමටද ඉතිරි 2/3ක ආදායම් අතිරික්තය (රු.මි. 16,975)  2026 මුල් කාර්තුව සදහා වන විදුලි ගාස්තු සංශෝධනයේදී ගැලපීමටත් කොමිෂන් සභාව තීරණය කරන ලදී.

මෙම ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංවිම සහ ලෙකො සමාගමට කොන්දේසි 7ක් පනවන ලදී. පිරිවැය ගිණුම් සැකසීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම, 2024දී ලංවිම ලැබු රු. මිලියන 60,461 අතිරික්තය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර වාර්තා කිරීම, 2026 මුල් කාර්තුව සදහා වන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවේදී රු මිලියන 16,975ක ලාභය ගැලපීම එම කොන්දේසි වලට ඇතුලත්.

විදුලි ජනනය සදහා තරගකාරී මිල ගණන් යටතේ ඉංධන මිලදී ගැනීමට ලංවිම ක්‍රියාකල යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මීට පෙර ලංවිමට කොන්දේසි පනවා තිබු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් වශයෙන් බලාත්මක කිරීමේ නියෝගයක් ක්‍රියාවට නැගීම සදහා ද කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ගාස්තු පිළිබද තීරණය ගැනීමේදී විදුලිබල පනතේ ප්‍රතිපාදන සහ ඒ යටතේ අනුමත කර ඇති මිල සුත්‍රයට අනුකූලව කොමිෂන් සභාව ක්‍රියාකරන අතර මහජන උපදේශනයේදී ඉදිරිපත් වු සියළු සාධනීය යෝජනා සැළකිල්ලට ගන්නා ලදී. මහජන අදහස් හා යෝජනා සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගත් ක්‍රියාමාර්ග පිළිබද විස්තර ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන ඇත

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 2 943 193) අමතන්න

 

2025 ඔක්තෝබර් 14