විදුලි ගාස්තු සියයට 20කින් පහලට
Fri, 17 Jan 2025 |

2025 ජනවාරි 17 
 
ප්‍රවෘත්ති නිවේදනය 
 
විදුලි ගාස්තු සියයට 20කින් පහලට 
අඩු වු ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මකයි

 2025 මුල් මාස 6 සදහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල සංශෝධන යෝජනාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස්කල ප්‍රතියෝජනාව හා ඒවා සම්බන්ධයෙන් මහජන උපදේශනයේදී ඉදිරිපත් වු අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු සියයට 20කින් පහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද තීරණය කලේ ය. සංශෝධිත විදුලි ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

 

2025 මුල් මාස 6 සදහා මෙතෙක් පැවති ගාස්තු එලෙසම පවත්වාගෙන යාම සදහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි. වියදම් හා ආදායම් ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු සියයට 11ක ප්‍රතිශතයකින් අඩු කල හැකි බවට ප්‍රතියෝජනාවක් මහජන උපදේශනය සදහා පසුගිය දෙසැම්බර් 17 වැනි දින ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා විදුලිබල පනතේ සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව එම කෙටුම්පත් යෝජනාව පිළිබද පළාත් 9ම ආවරණය වන පරිදි 2024 දෙසැම්බර් 27 සිට ජනවාරි 10 දක්වා කාලය තුලදී මහජන උපදේශන 9ක් ද පවත්වා අදහස් හා යෝජනා ලබාගන්නා ලදී. 400කට ආසන්න නියෝජිත පිරිසක් මෙම මහජන උපදේශන වලට සහභාගිව අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී. එම යෝජනාද සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලි අයක්‍රම ක්‍රමවේදයට අනුකූලව ගාස්තු සංශෝධනය පිළිබද අවසන් නිර්දේශ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලය විසින් කොමිෂන් සභාව වෙත ඊයේ දින ඉදිරිපත් කර තිබිණ. එම නිර්දේශ අධ්‍යනය කිරීමෙන් අනතුරුව අද රැස් වු කොමිෂන් සභාව විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමේ අවසන් තීරණය ගන්නා ලදී.

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු කර ඇත. ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කෙරේ. හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කෙරේ. පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කර ඇත.  

 

 පාරිභෝගික කාණ්ඩය  ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය 
ගෘහස්ත අංශය  20% 
ගෘහස්ත  0-30  29% 
31-60  28% 
61-90  19% 
91-180  18% 
180<  19% 
D-TOU  31% 
පොදු කාර්ය  12% 
රාජ්‍ය ආයතන  11% 
හෝටල්  31% 
කර්මාන්ත  30% 
ආගමික හා පුණ්‍යායතන  21% 
වීථි ලාම්පු  11% 
සමස්ත අඩුවීම  20% 

 

අද (2025 ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු පහත ඇමුණුමෙහි දැක්වේ.

 

වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් 077 294 3193 අමතන්න

ඇමිණුම