රටේ යම් යම් භෞතික යටිතල ව්‍යූහ කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස 2002 අංක 35 දරන පනත මඟින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පිහිටුවන ලදි. එහි පළමු කොමසාරිස්වරුන් කණ්ඩායම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමගම 2003 වර්ෂයේ මැදභාගයේදී එය ක්‍රියාත්මක විය. මුලින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සපයන ලදි. පසුව 2006 මාර්තු මාසයේදී ඛණිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදි.
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත බලාත්මක වීමත් සමඟ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂක සහ තාක්ෂණික නියාමකයා බවට පත් විය. විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ප්‍රවර්ධිත සේවා තත්වයක් සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කරයි. මේ වන විට ජල සේවා සහ ඛණිජ තෙල් කර්මාන්තයන්හි නියාමකයා ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බල ගැන්වීම සඳහා වන ජල සේවා සහ ඛණිජ තෙල් කර්මාන්තයන්හි යෝජිත නීති සම්පාදනයන් කෙටුම්පත් කෙරෙමින් පවතී.